මම කෑගල්ලේ. මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගියේ මටවත්, වෛද්‍යවරුන්ටවත් විසඳා ගැනීමට නොහැකිව අවුරුදු පහක් දුක් වින්ද රෝගී තත්වයකට නිර්මල කන්‍ය මරිය තුමිය වූ කටුනායක මෑණියන්ගේ පිහිට සොයාගෙනයි. මම දුක් වින්ද රෝගි තත්වය මෙහෙමයි. මට තිබුනේ උගුරේ ආබාධයක්. මුලින්ම ඇතිවුනේ කෙල ගිලින විට උගුරේ රිදිල්ලක්. එය මාස දෙකක් විතර තිබුණා. පසුව කෑම ගිලින විටත් උගුරේ රිදිල්ල ඇතිවෙන්නට පටන් ගත්තා. එයට විවිධ ප්‍රතිකාර කලත් සුවයක් ලැබුනේ නැහැ. පසුව කතා කරන විටත් උගුරේ රිදිල්ල ඇති වුනා. ක්‍රමයෙන් මේ තත්වය වැඩිවෙන්නට පටන් ගත්තා. ඝන ආහාර ගැනීම බොහෝම දුෂ්කර උනා. ජීවිතය පවත්වා ගැනීම සඳහා පමණක් තමයි බොහෝම අමාරුවෙන් ඝන ආහාර ගත්තේ. කතා කරන විට ඇතිවුන උගුරේ රිදිල්ලත් වැඩි වුනා. විනාඩි දෙකකට වඩා කතා කරන්නට බැරුව ගියා. අධිකව උගුරේ වේදනාව දැනෙන්නට පටන් ගත්තා. මෙහෙම කාලයත් ගත වුනා. වෛද්‍යවරුන් ගණනාවක් ම පරීක්ෂා කලා. විවිධ බෙහෙත් වර්ග නියම කලා. වෛද්‍ය පරීක්ෂණ ගණනාවක්ම කලා. X RAY කලා. SCAN කලා. ඒවානම් ගණන් කරන්නත් බැරි තරමට ම කලා. සියල්ලට ම මුදල් වියදම් වුනා විතරයි. X RAY බලලා SCAN බලලා වෛද්‍යවරුන් කිව්වේ කිසිම රෝගී තත්වයක් නොමැති බවයි. නමුත් බෙහෙත් දුන්නා. එකම එක වෛද්‍යවරයෙක් විතරක් කිව්වා, උගුරේ පොඩි අමුත්තක් තියෙනවා, අපි ටිකක් බෙහෙත් කරලා බලමු කියලා. ඒ දෛද්‍යවරයා මාස අටක් බෙහෙත් දුන්නා. නමුත් සුවයක් ලැබුනේ නැහැ. පසුව මට තේරුණා ඒ වෛද්‍යවරයාටත් කරගන්න දෙයක් නැහැ කියලා. හරියකට කෑමක් ද නැති නිසා මම කෙට්ටු වෙන්නත් පටන් ගත්තා. ඇඟ දුර්වල වෙලා විටින් විට රෝගී වෙන්නත් පටන් ගත්තා. මගේ මුදල් තත්වයත් පිරිහෙන්නට පටන් ගත්තා. මේ විදිහට අවුරුදු පහක් ගත වුනා.

 

දවසක් අපේ ගෙදර ආපු මගේ මිතුරෙක් මට පුදුම කතාවක් කිව්වා. ඒ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැනයි. එතන හාස්කම් සාගරයක් කියලා කිව්වා. ඔහුගේ පර්ස් එකේ තිබුණ කටුණායක මෑණියන්ගේ ප්‍රතිමාවේ පින්තූරයකුයි, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ පින්තූරයකුයි මට පෙන්නුවා. සෙනසුරාදා සවස 6 ට දේව මෙහෙය පැවැත්වෙන බවත්, ඒ වුනාට හෙට ම සිද්ධස්ථානයට ගිහිල්ලා සිද්ධස්ථාන භූමියේ තැන්පත් කරලා තියෙන කටුනායක මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියේ රෝස මල් ඉටිපහන් පත්තු කරලා භාරයක් වෙන්න කිව්වා. භූමියේ තැන්පත් කරලා තියෙන කටුනායක මෑණියන්ගේ ප්‍රතිමාවත් මහා පුදුම ප්‍රතිමාවක් බවත්, සතියේ දිනවල බොහෝ දෙනක් කටුණායක මෑණියන්ගේ පිහිට ඉල්ලාගෙන එතැන යාච්ඤා කරන බවත් මිතුරා පැවසුවා. පැය තුනක් පමණ වෙලා ඔහු විස්තර කිව්වා. මතක් කරලා හෙටම යන්න කියලා ගමන් මාර්ගයත් මට දාල දුන්නා. එදා අඟහරුවාදා දවසක්.

 

පසුදින බදාදා, මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සොයාගෙන ගියා. සිද්ධස්ථානය සොයාගන්නට මට අමාරු වුනේ නැහැ. මම රෝස මල් ඉටිපහන් දහයක් ලබා ගත්තා. සිද්ධස්ථාන භූමියේ තැන්පත් කර තිබුණ කටුනායක දේව මෑණියන්ගේ ප්‍රතිමාව පසෙකින් ඉටිපහන් දල්වලා තැන්පත් කලා. ප්‍රතිමාව පාමුළ දණ ගහලා, මගේ දුක, මගේ රෝගී තත්වය, මා විඳින වේදනාව මම දේව මෑණියන්ට කිව්වා. පස්සෙ මට හිතුනා තව ටික වේලාවක් යාච්ඤා කරන්නට ඕනා කියලා. මම හිටපු තැන අව්ව ටිකක් තිබුණ නිසා, ප්‍රතිමාව පෙනෙන පැත්තක සෙවනට වෙලා, බිම වාඩිවී මම යාච්ඤා කලා. ටික වේලාවක් මම යාච්ඤා කරත් දී මම දැක්කෙ මහ පුදුම දෙයක්. දේව මෑණියන්ගේ ප්‍රතිමාවේ, ඉනේ තිබුන නිල් පාට පටිය ජීවමානව දිලිසෙන්නට පටන් ගත්තා. මම පුදුමයෙන් ඒ දෙස බලා සිටියා. සාක්කුවෙන් ලේන්සුව අරගෙන දෑස් පිසදා බලාගෙන සිටියා. පුදුමයි. විනාඩි දහයක් පමණ මම ඒ දසුන දැක්කා. ඊට පස්සෙ ප්‍රතිමාවේ නිල් පටිය මම මුලින් ම දුටුව සාමාන්‍ය තත්වයට පත් වුනා. මගේ ඇස්වලින් කඳුළු ආවා. මම තවත් ටික වේලාවක් යාච්ඤා කරලා, ප්‍රතිමාවට අත තබා සිපාචාර කරලා, සිද්ධස්ථානයේ ගේට්ටුවෙන් එළියට ඇවිත්, මම මුලින්ම කලේ, කටුනායක දේව මෑණියන්ගේ සිද්ධස්ථානය ගැන මට කියපු මිතුරාට දුරකතන ඇමතුමක් ගැනීමයි. ඔහුට සියළු විස්තර කිව්වා. ඔහු පුදුමයට පත් වුනත්, ඔහු කිව්වේ කටුනායක පල්ලියේ සිද්ධවෙන හාස්කම් දන්නවානම් ඕක බොහොම සුළු සිද්ධියක් කියලයි. කොහොම වුනත් මාව සම්පූර්ණයෙන් ම සුවපත් වෙන බවත්, ඒ ලැබුනේ ඊට සංඥාවක් බවත් ඔහු කිව්වා. එදින සවස අපේ ගෙදර එන බවත් ඔහු කිව්වා.

 

එදාම සවස ඔහු අපේ ගෙදර ආවා. මගේ කතාව ආයෙත් මුල සිටම අසා ගත්තා. ඔහු කඳුළු පිරුණ ඇස් දෙකෙන් නැඟිටලා මාව බදාගෙන කිව්වෙ, ස්ථීරයෙන් ම කටුනායක පල්ලියේ දී මරිය තුමී මාව සුවපත් කරන බවයි. ඊට පසු සෙනසුරාදා සවස හාස්කම් යාච්ඤාවට සහභාගි වීමට ඔහුත් සමග ම යන්නට ලෑස්ති වී ඉන්න කියලා කිව්වා. හාස්කම් යාච්ඤාවේ දී රතු පෙට්ටියට ලිපියක් දැමීමේ අවස්ථාව ගැනත් පැවසූ ඔහු, ඔහු ලඟ වැඩිපුර ඇති ලිපිකවරක් ද කාරෙකෙන් අරගෙන මට දුන්නා. මගේ රෝගී තත්වය ගැන සම්පූර්ණ විස්තරය ලිපියේ ලියන්න කිව්වා.

 

ඊට දින තුනකට පස්සෙ සෙනසුරාදා අපි දෙදෙනා ම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගියා. එදා දේව මෙහෙයෙන් පසුව ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය ලබාදෙන බව දැනගන්නට ලැබුනා. තරමක් වේලාසනින් ගිය නිසා ඒ සඳහා කාඩ්පත් දෙකක් අප දෙදෙනාට ලබාගන්නට හැකි වුනා. සවස 6 ට හාස්කම් දේව මෙහෙය ආරම්භ වුනා. හාස්කම් යාච්ඤාවේ දී රතු පෙට්ටියට ලිපි දමන විට, කියන්නට කියලා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පැවසූ ආශිර්වාද වැකියත් මම සිතින් කිය කියා රතු පෙට්ටිය ලඟට කිට්ටු වුනා. රතු පෙට්ටිය ලඟ දේව මණියන්ගේ ප්‍රතිමාව දෙස බලත් දී ම, උගුරේ ලොකු දැවිල්ලක් ඇති වුනා. හරියට ම කිව්වොත් කවුරුහරි උගුර පුච්චනවා වගේ. මම ඒ වේදනාව දරාගෙන, මගේ ලිපිය රතු පෙට්ටියට දැම්මා. එහෙම පිච්චෙන වේදනාවක් ඊට පෙර කවදාකවත් ඇතිවෙලා නැහැ.

 

හාස්කම් මෙහෙයෙන් පස්සෙ, ශුද්ධවූ කුරුසියෙ ආශිර්වාදය ලබා දීමට ආරම්භ කරනතෙක් තිබුණ විනාඩි කීපය තුල, මම සිදු වූ දේ මගේ මිතුරාට කිව්වා. උගුරේ දැවිල්ල ඒ අවස්ථාවේ දීත් තබුණා. මිතුරා කිව්වේ භය වෙන්න එපා. විශ්වාසයෙන් ඉන්න. මෙතන මහ පුදුම තැනක්. අද මොකක් හරි වෙයි. අපි ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදයත් ලබා ගමු. ආශිර්වාදය දෙන්නෙත්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා. ඒ නිසා ඒ ආශිර්වාදය මඟහැර ගන්නෙ නැතුව, අපි එය ලබා ගමු කියලයි.

 

ටික වේලාවකින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් ශූද්ධවූ කුරුසියේ ආශිර්වාදය ලබාදීම ආරම්භ කලා. ඒ වෙනකොටත් මගේ උගුරේ දැවිල්ල අඩුවෙලා තිබුනේ නැහැ. මොකක්ද මට උනේ කියලා මට බයකුත් ඇති වුනා. ශූද්ධවූ කුරුසියේ ආශිර්වාදය මට ලැබෙන අවස්ථාව උදා වුනා. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මගේ හිස මත ශූද්ධවූ කුරුසිය තබනවාත් සමගම උගුරේ දැවිල්ල, විදිල්ලක් කොටනවා වගේ ක්ෂණයකින් නැති වුනා. අවුරුදු පහක් තිබුණ උගුරේ වේදනාව ද නැතුවගිය බව මට ඒ සමගම දැනුනා.

 

පිටතට ඇවිත් මගේ පුදුම විස්තරය මිතුරාට කිව්වා. ඔහුට හරිම සතුටුයි. ඒකනෙ මම කිව්වෙ, මෙතන හාස්කම් සාගරයක් කියලා. විශ්වාසයෙන් මෙතන දී ඉල්ලුවොත් ලැබෙනවා ම තමයි කියලා ඔහු කිව්වා. සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත, එදා නිල් පටිය ජීවමාන වූ ප්‍රතිමාව ඉදිරියේ නැවතත් අපි දෙන්නාම රෝස මල් ඉටිපහන් පත්තු කරලා, ආපසු කෑගල්ලට එන්න පිටත් වුනා. ඒ එන අතර මග, දිගටම අපි කතා කරමිනුයි ආවේ, සින්දුවක් දෙකකුත් කිව්වා. අතර මග රෑ කඩයකින් කාලෙකට පස්සෙ අපි දෙන්නාම බඩ පිරෙන්න ආප්ප කෑවා. අවුරුදු පහක් වින්ද වේදනාව කිසිම දෙයක් මට දැනුනේ නැහැ. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා කුරුසියෙන් මට ආශිර්වාද කරලා. කටුනායක මෑණියෝ මාව සුවපත් කරලා. ඇත්තටම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, හාස්කම් සාගරයක්.

 

බර්නාඩ් රාජ් වනිගරත්න – කෑගල්ල