සැදැහැවතුන්ට ජීවමාන සංඥාවන් දැක ගැනීමට අවස්ථාව ලැබෙන නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ප්‍රතිමාව, එතුමිය දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දකින්නට ලැබෙන අතිශයින්ම පුදුම සිදුවීමක් දැකිය හැකි ප්රතිමාවකි.
ජේසු බිළිදාණන් සිය වම් හස්තයේ දරාගෙන වැඩ සිටින නිර්මල කන්‍ය තුමියගේ රුව විදහා දැක්වෙන මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ එතුමිය 1977 ජූලි 27 වෙනි දින, දසඅට වන වරට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ට දර්ශණය වූ ආකාරය සිහිපත් කරනු සදහායි. එදින එතුමිය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වූයේ, සිය වම් හස්තයේ ජේසු බිළිදුන් ද වඩවා ගෙනය.
සෑම සෙනසුරාදාවකම සවස 6 ට ආරම්භ වන හාස්කම් යාච්ඤාව අවස්ථාවේ දී මෙම ප්‍රතිමාව තම දෑසින් දැක ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව ලැබෙන අතර, සෑම සෙනසුරාදාවකම අඩුම තරමින් සැදැහැතුන් දස දෙනෙකුවත් මෙම ප්‍රතිමාව තුලින් ජීවමාන සංඥාවන් දැක ගැනීමට වාසනාව ලබති. ඒ අපට සතිපතා දන්වනු ලබන සැදැහැවතුන්ගේ සංඛ්‍යාවට අනුවයි. අපට දැනුම් නොදෙන සැදැහැවතුන් ද සිටිනවා විය හැකියි.
දිව්‍ය බිළිඳාණන් වඩවා ගත් දේව මාතා ප්‍රතිමාව තුලින් දැකගත් ජීවමාන සංඥාවන් විස්තර කර ඇති සැදැහැවතුන්, විවිධ අසිරිමත් දේ දැක ඇති බව පෙනී යයි. ඇතැම් අය දෙව් මවුන්ගේ ඉන වටා ඇති නිල් පැහැති බඳ පටිය එහාට මෙහාට වැනෙන අයුරු දැක ඇති අතර, තවත් කීප දෙනෙක්ම දැක ඇත්තේ, මරිය තුමියගේ දෙතොල සෙලවෙන ආකාරය හෝ එතුමිය කුමක් හෝ කියන්නට සැරසෙන බවකුයි.
තවත් සැදැහැවතුන් දැක ඇත්තේ, එතුමියගේ දෙතොලින් මතුවන කුඩා සිනහ රැල්ලකි. එතුමියගේත් එතුමියගේ දකුණු හස්තයේ වැඩ සිටින ජේසු බිළිදාගේත් දෑස් බබලන නිල්වන් දීප්තියකින් දිස් වූ බව දුටු සැදැහැවතුන් ද සිටිති. තවත් කීප දෙනෙකුම දැක ඇත්තේ නිර්මල මරිය තුමියගේ දකුණු හස්තයේ එල්ලෙමින් ඇති රන්වන් ජපමාලය සෙලවෙන අයුරු වන අතර තවත් පිරිසක් එයස දැක තිබුනේ එම රන්වන් ජපමාලය උච්චාරණය කිරීමේ දී සිදුවන අයුරින් ඉතාමත් සෙමින් එතුමියගේ හස්තය වටේ කැරකෙන අයුරුයි. මෙවැනි තවත් සිද්ධීන් කීපයක්ම අපට වාර්තා වී ඇත. මේ සෑම දෙයක්ම එතුමිය පෙන්නුම් කර ඇත්තේ තත්පර කීපයක් පමණක් වීම ද විශේෂත්වයකි.
මෙය කියවන ඔබ සිනාසෙනවා විය හැකියි. තවත් කෙනෙක් මේ ගැන ගැඹුරින් කල්පනා කරන්නට ද පෙළඹිය හැකියි. ඒ එකිනෙක්කෙනාගේ සිත තුල පවතින විශ්වාසයන් සහ අදහස් අනුව සිදුවන්නකි.
මීට දෙදහස් වසරකට පෙර නිර්මල කන්‍ය මරිය මාතාවෝ ගාබ්‍රියෙල් නම් අග්‍ර දේවදූතයාගෙන් ඇසූ පැනයම කෙනෙකුගේ සිත තුල ඇතිවන්නට ද පුළුවනි. එනම් ‛‛මෙවැන්නක් කෙසේ විය හැකි ද?’’ (ලූක් 1/34) යන්නයි. ඊට ගාබ්‍රියෙල් අග්‍ර දේවදූතයා කන්‍ය මරිය මාතාවන්ට දුන් පිළිතුර ම මෙතැනදීත් සිහිපත් කර ගැනීම සුදුසු වේ. එනම්, ‛‛දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැත’’ (ලූක් 1/37) යන පිළිතුරයි.
මේ වන විට දෙව් මවු ප්‍රතිමාවෙන් ජීවමාන සංඥාවන් දැකගත් සැදැහැවතුන් අතර එකම දිනයේ කීහිප විටක් දුටුවන් ද, සෙනසුරාදාවන් කීපයකදී ම දුටුවන් ද වෙති. ජීවමාන සංඥාවන් දැක ගැනීමට ලැබෙන මෙම දේව මාතා ප්‍රතිමාවෙන් යම් ජීවමාන ලකුණක් දැකගැනීමට අවස්ථාවක් ලදොත් ඒ සැනින්ම එදෙස බලාගෙන ‛‛දුටුවෙමි මෑණියනී ස්තූතියි මෑණියනි’’ යි යනුවෙන් තම සිතින් පවසා දෙව් මවුන්ට ස්තූති කරන මෙන් ඉල්ලා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් ජූනි 12 වෙනි දින නිවේදනයක් නිකුත් කර ඇත.
සෑම සෙනසුරාදාවකම සවස ජීවමාන සංඥාවන් දැක ගැනීමට ලැබෙන දෙව් මවුන්ගේ ප්‍රතිමාව සහ දෙනෙත් යොමු කරගෙන ඒ දෙස බලා සිටින සැදැහැවතුන්ද මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි










