මේ ලෝකයේ ජීවත්ව සිටියදී ම නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැක ගැනීමේ අතිශය දුර්ලභ වූත්, අතිශය භාග්‍යවන්ත වූත් අත්දැකීමට මුහුණ දුන් ලොව කීපදෙනා අතරට එක්වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් සමග 2017 නව වසරේ ප්‍රථම ජපමාල උච්ඡාරණය 2017 ජනවාරි 7 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සිදු විය.

 

සිද්ධස්ථාන දර්ශණ භූමියේ අලංකාර මලින් සරසා තනා තිබූ විශේෂ මණ්ඩපයක සිට ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් ද, රැස්ව සිටි සැදැහැවතුන් සමග ජපමාලය සුරතට ගෙන දෙව් මවුන් වෙත ජපමාලය උච්ඡාරණය කරන්නට විය.

 

සිද්ධස්ථාන භූමියේ එක් පසෙක නිර්මල කන්‍ය මරිය වහන්සේගේ ප්‍රතිමාව ඉතාමත් ගාම්භීර ලෙස තැන්පත් කර තිබුනේ, ප්‍රතිමාව වටා විවිධ මලින් සරසා, සැබවින්ම එතුමිය මල් ලොව මල් කුමරිය බව සංකේතවත් කරමිනි.

 

ජපමාල උච්ඡාරණය ආරම්භ කිරීමට පෙර ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සැදැහැවතුන්ගේ ඉටිපහන් ආශිර්වාද කල අතර, ඔවුන් එම ආසිරි ගැන්වූ ඉටිපහන් දල්වා දෙව් මවු ප්‍රතිමාව පාමුළ මහත් බැතියෙන් තැන්පත් කරනු ලැබූහ.

 

2017 ජනවාරි 7 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ දී සැදැහැවතුන් සමගින් දේව මෑණියන් වෙත ජපමාලය උච්ඡාරණය කරනු ලැබූ අවස්ථාව මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි