2013 දෙසැම්බර් 24 වෙනි දින අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් විසින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ ඉදිකර තිබූ දර්ශණීය පීඨිකාවේ සිට සිය නත්තල් දිව්‍ය පූජා මෙහෙය පැවැත්වූ අතර, රැස්ව සිටි බැතිමතුන් අමතා සිය දේශණය පවත්වමින්, ආරම්භයේදීම නත්තල පිළිබඳව උන්වහන්සේ ප්‍රශ්ණ කීපයක් නගනු ලැබීය.

 

‛‛නත්තල පිළිබඳව ස්වර්ගය සන්තෝෂ වන්නේ මේ ලෝකයේ දැල්වෙන විදුලි බල්බ් ප්‍රමාණය නිසාද, ජනතාව හැඳ පැලඳ සිටින අළුත් ඇඳුම් සහ ඒවායේ දිලිසෙන ප්‍රමාණය නිසාද, නැතහොත් ක්‍රිස්තියාණි ජනතාව නත්තල වෙනුවෙන් මහන්සි වන ලෞකික සූදානම නිසාද?’’ නත්තල් දිව්‍ය පූජාවේ දී මෙම ප්‍රශ්ණ රැස්ව සිටි බැතිමතුන් හමුවේ තබමින් සිය දේශණය ආරම්භ කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා මෙසේ ද ප්‍රකාශ කල සේක. ‛‛සෑම කිතුණුවෙක්ම සැබෑ මනස්ථාපයක් විය යුතුයි. මනස්ථාප වීම යනු එකම වරද නැවත නැවත කරමින් නැවත නැවත මනස්ථාප වෙමින් නැවත නැවත වැරදි කිරීම නොවෙයි. මරණය අවස්ථාවේදී ලෝක අවසානය අවස්ථාවේ දී ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයට ලක්වෙන විට ඔබ කියන්නට බලාපොරොත්තවු සිටින්නේ කුමක්ද? අනේ ස්වාමිනී මම පවුකාරයෙක් කියාද? එසේ නම් එවිට ජේසුස් ස්වාමින් වහන්සේ ඔබට හිමි කරදෙන ස්ථානය ගැන ඔබ දන්නවා නේද? පව් කර කර, පව් කර කර, අනේ ස්වාමිනී මම පවුකාරයෙක් කියමින් ජීවත්වීම කිතුණුවාගේ ක්‍රියා කළාපය නොවිය යුතුයි. එසේ කිරීමෙන් නිරා දූතයන් සතුටු නොකරන්න. පළමු නත්තලේ දී මෙන් දේව දූතයන් සතුටු කරන්න.’’

 

සීතල නත්තල් රාත්‍රියේ ඉතා දුර ප්‍රදේශයන්ගෙන් පවා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටි බැතිමතුන් අතර ඉතා කුඩා අත දරුවාගේ සිට මහල්ලා දක්වා විවිධ වයස් ප්‍රමාණයන්ගෙන් යුත් බැතිමතුන් විය. ඔවුන් අතර කිතුණු නොවන ජනතාව ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවට බැතියෙන් එක්වී සිටියෝය.

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සිය නත්තල් දේශණයේ දී මෙසේ ද ප්‍රකාශ කල සේක. ‛‛නත්තල යනු ආලෝකයේ මංගල්‍යයයි. සියළු ක්‍රිස්තියානින් අඳුරින් ආලෝකයට පැමිණිය යුතුයි. තම පාපවලට සත්‍ය ලෙස මනස්ථාප වී ස්වර්ගය ලබා ගැනීමට හිමිකාරයන් වී, පළමු නත්තලේ ජේසු බිළිඳුන් මේ ලෝකයට ගෙනා විමුක්තිය ලබා ගත යුතුයි. අවංකව, සත්‍ය ලෙස මනස්තාප වන පවුකරුවා ගැන ස්වර්ගයේ සිටින දේව දූතයන් ගී ගයා, මුළු ස්වර්ගයම සන්තෝෂ වෙනවා. අන්න එයයි සැබෑ නත්තල. දේව දූතයන් නැවත ගී ගයන නත්තල.’’

 

නත්තල් දිව්‍ය පූජා මෙහෙයේ දේශණය පවත් වමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා වැඩි දුරටත් අවධාරණය කර සිටියේ, සැබෑ මනස්ථාපයේ වගකීම ඇත්තේ එකිනෙක්කෙනා අත බවත්, එහි වගකීම මෙන්ම ඒ සඳහා අධිෂ්ඨානය එකිනෙක්කෙනා තනි තනිවම කල යුතු බවත් ය. එම තීරණය මේ නත්තල් දිනයේම ඇති කර ගන්නා ලෙස ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සිය නත්තල් දිව්‍ය පූජා දේශණයේ දී ඉල්ලා සිටියහ.

 

මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා නත්තල් දිව්‍ය පූජා දේශණයේදී සිනහ මුසු මුහුණින් යුතුව බැතිමතුන්ගෙන් ප්‍රශ්ණ අසමින් සිය දේශණය පවත්වන අයුරු සහ සැදැහැවතුන් ද ප්‍රතිචාර දක්වමින් ඊට සවන් දෙන අයුරුත් ය.