කුඩා දරුවන් ශුද්ධෝතම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ දෝතේ තැබීමට, උන්වහන්සේගේ ආශිර්වාදය ලබා දීමට දෙමාපියන් සුවිශේෂ කැමැත්තක් දක්වනවා. එවන් අවස්ථාවල දී උන්වහන්සේගේ සිතින් ඒ කුඩා දරුවාට කරනු ලබන ප්‍රාර්ථනාවක් පිළිබඳව ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා 2018 වසරේ දෙසැම්බර් 24 වෙනි දින පවත්වනු ලැබූ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවේ දී හෙළි කරනු ලැබුවා.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව් මැඳුර තුල පවත්වනු ලැබූ මෙම මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවේ දේශණයේ දී, ‛‛මම පුංචි රහසක් කියන්නම්’’ යයි පවසා සිය රහස කුමක් දැ යි හෙළි කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා පවසනු ලැබුවේ, උන්වහන්සේ ලඟට කවුරු හෝ කෙනෙක් දරුවෙකුව ගෙනආවොත් හෝ උන්වහන්සේගේ දෝත් මත දරුවෙක් තැබුවහොත්, ඒ දරුවා බෞද්ධ නම් ‛නිවන් සැප ලැබේවා’ යයි ද, කිතුණු දරුවෙක් නම් ‛ස්වර්ග සැප ලැබේවා’ යි සිතෙන් පතන බවත්, එම වචන දෙමා පියන්ට ඇසෙන ලෙසින් නොකියන බවත් ය.

 

මෙම වචන දෙමා පියන්ට නොඇසෙන ලෙසින් පවසන්නේ කුමක් නිසාදැයි පැහැදිලි කරමින්, සියල්ලන්ගේම මුවගට සිනහවක් එක් කරමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා පවසනු ලැබුවේ, මෙම ප්‍රාර්ථනාවන් දෙමාපියන්ට ඇසුනහොත්, උන්වහන්සේට ඔවුන්ගෙන් පහර කෑමට සිදුවන බවයි.

 

දරුවෙක් ඉපදී, ලොකු මහත් වී මිය ගියාට පසුව, නිසල දේහය අසල සිට ස්වර්ග සැප ලැබේවා, නිවන් සැප ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කිරීම නිෂ්ඵල බවත්, ඒ උතුම් ප්‍රාර්ථනාව කල යුත්තේ දරුවා උපන් අවස්ථාවේ දී ම බවත්, ස්වර්ග සැපත හෝ නිවන් සැපත සොයා ගත යුත්තේ කෙනෙකු ජීවත්ව සිටින විට දී බවත් පවසනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, නත්තල් දිව්‍ය පූජාවට සහභාගි වෙමින් සිටි බෞද්ධ බැතිමතුන් අමතා, ‛‛මම කින දේ වැරදි දැ’’යි ප්‍රශ්ණ කලා. ස්වර්ග සැපත හෝ නිවන් සැපත ලබා ගත යුත්තේ ජීවත්ව සිටින විට දී බව තම අවබෝධය බව ද උන්වහන්සේ පවසනු ලැබුවා.

 

බොහෝ අවමගුල් දැන්වීම්වල නිවන් සැප ලැබේවා, ස්වර්ග සැප ලැබේවා යනුවෙන්, ජීවත්වන පිරිස මියගිය පුද්ගලයාට කරනු ලබන ප්‍රාර්ථනාවන් දකින්නට ලැබෙන බව පැවසූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, අපි මිය ගියාට පසුව අනික් අයගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු නොවී, මට නිවන් සැප ලැබේවා, මට ස්වර්ග සැප ලැබේවා යි අපට ම ප්‍රාර්ථනා කර ගනිමින්, ඒවා අපට ලැබෙන ආකාරයෙන් ජීවත් වීමේ අවශ්‍යතාවය ද ඉතා දීර්ඝව පැහැදිලි කරමින්, අප ඒ අනුව කටයුතු කලහොත්, අප මිය ගියාට පසුව, අනික් අය ‛මොහු නිරයේ ම උපදීවා’ යි ප්‍රාර්ථනා කලත් එය නිශ්ඵල ප්‍රාර්ථනාවක් බව ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා ඉතා සවිස්තරව පෙන්වා දෙනු ලැබුවා.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැදුර තුල පවත්වනු ලැබූ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවසානයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සැදැහැවතුන් වෙත නත්තල් ආශිර්වාදය දානය කරනු ලැබූ අවස්ථාව මෙම ඡායාරූපයන්ගෙන් ඔබට දැකගත හැකියි