ශ්‍රී ලංකාවේ දී නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් දැක ගැනීමට සුවිශේෂී වාසනාව ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අදටත් අප අතර ජීවමානව වැඩ සිටීම අපට ලොකුම ශක්තියකි. විශේෂ කොට උන්වහන්සේ, ජේසුස් ස්වාමින් වහන්සේව ද සියැසින් දැකගෙන, ජේසුස් ස්වාමින් වහන්සේගේ හස්තයෙන් ම අපොස්තුළුවරයට ඔසවනු ලැබූවෙක් වීම තුල අපට බොහෝ වරප්‍රසාදයන් සදහා හිමිකම් ලැබුමට මාර්ගයක් වී ඇත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට දර්ශණය වී පත් කරනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමා වන්නේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝය.

 

නිර්මල කන්‍ය මරිය තුමිය ව තම දෑසින් මෙලොව දී ම විසිතුන් වතාවක් දැකගෙන, එතුමියගේ මුහුණ බලාගෙන කතා කර ඇති ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මරිය තුමියගේ පිහිට පතා කිව යුතු යාච්ඤාවක් ලියා ඇති අතර, එම යාච්ඤාව කිව යුතු දවසක්, වේලාවක් සහ ස්ථානයක් ද නියම කර ඇත. මරිය තුමිය වෙත ලියවුන යාච්ඤාවන් ලොව කොතෙක් ඇතත්, එම යාච්ඤාව කිව යුතු දවසක්, වේලාවක් සහ ස්ථානයක් ද නියම කර ඇති ලොව එකම යාච්ඤාව මෙයයි. මෙම යාච්ඤාව එම නියමයන්ට අනුව උච්චාරණය කිරීමෙන් ජනතාව ලබාගන්නා පිහිට වරප්‍රසාද රැසකි. ඒ කොතෙක් ද කියනවානම්, මෙම යාච්ඤාව මේ වන විට ‛මරිය තුමියට කියන හාස්කම් යාච්ඤාව’ ලෙසින් සැදැහැතුන් අතර ප්‍රචලිත වී ඇත.

 

මෙම යාච්ඤාව උච්චාරණය කල යුතු දවස වන්නේ සෙනසුරාදා යි. කිව යුතු වේලාව වන්නේ සවස 6 යි. කිවයුතු ස්ථානය වන්නේ නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යි. යාච්ඤාව උච්චාරණය කිරීමෙන් පසුව තම බලාපොරොත්තුව කෙටියෙන් ලිවූ කුඩා ලිපියක් ‛රතු පෙට්ටිය’ ට දැමිය යුතුයි. මේවායේ යම් වෙනසක් සිදු කරන්නේ නම්, එය කරන්නට බලය ඇත්තේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට පමණකි. උන්වහන්සේ ද එවැනි අවසරයක් දානය කරනු ලබන්නේ, නිර්මල කන්‍ය මරිය තුමියගේ ද අවසරය මත වීම විශේෂත්වයකි. ඇත්තටම මෙය ඔබ පුදුම කරවන්නක් විය හැකියි.

 

මෙම යාච්ඤාව හා බැදි කරුණු එසේනම් මෙවැනි යාච්ඤාවක් නියම කර ඇති අයුරින් උච්චාරණය කිරීමෙන් අප පුදුම කරවන දේ සිදුවීම ගැන පුදුම විය යුතු නැත. මෙවැනි යාච්ඤාවක් ‛හාස්කම් යාච්ඤාව’ක් ලෙසින් සැදැහැවතුන් අතර ප්‍රචලිත වීම ගැන ද පුදුම විය යුතු නැත. මෙම හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමෙන් සැදැහැවතුන් ලබා ගන්නා අප්‍රමාණ වරප්‍රසාදයන් දිනපතාම වාර්තාවන නිසා එම ප්‍රාතිහාර්යාත්මක සිදුවීම් ලේඛණ ගත කිරීම සදහාම නිලධාරියකු පත් කිරීමට සිදුවීම ගැන ද පුදුම විය යුතු නැත.

 

සෑම සෙනසුරාදාවකම සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්වන ජනතාව හාස්කම් යාච්ඤාවට සහභාගි වන්නේ, ඔවුන් තම දෙපා රදවාගෙන සිටින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ නිර්මල කන්‍ය මරිය තුමිය ද කහ පැහැති රෝසමල් 123 ක් මත විසිතුන් වතාවක් දෙපා රදවා ගෙන දර්ශණය වූ බව තම සිත් තුල රදවා ගෙන, ඒ නිර්මල මරිය මාතාවන් වෙත දැඩි බලාපොරොත්තුවක් සහ දැඩි විශ්වාසයක් ද දරා ගෙනය. 2018 ජනවාරි 6 වෙනි සෙනසුරාදා සවස ද ජාති ආගම් භේදයෙන් තොරව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට රැස්වී සිටි සැදැහැවතුන් තම බලාපොරොත්තු ලිවූ ලිපි නිර්මල කන්‍ය මරිය තුමිය වෙත ඔසවාගෙන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ද සමගින් හාස්කම් යාච්ඤාවට සහභාගිවෙන අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකි වනු ඇත