නිර්මල කන්‍ය මරිය මවු තුමියගේ උපත සමරා කේක් එකක් කපා එය මහත් සතුටින් භුක්ති විඳින බැතිමතුන් සහ වන්දනා කරුවන් රැසක් පසුගිය සැප්තැම්බර් 8 වෙනිදා නිර්මල කන්‍ය මරිය තුමියගේ පාරිශුද්ධ උත්පත්ති මංගල්‍ය සමරණු ලැබූ දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දැක ගැනීමට හැකි විය.

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරා අපි අපේ ගෙවල්වල කේක් අනුභව කරන්නේ එම උපත ගැන මහත් ආනන්දයෙනි. නත්තලේදී බොහෝ දෙනෙක් තම හිතවතුන්ට තෑගි දෙන්නේ ද කේක් මය. අපගේ හිතවතුන්ගේද උපන් දින සංවත්සර යෙදෙන විට නොවරදිනම ආහාරයක් වන්නේ කේක් ගෙඩියයි. කේක් ගෙඩිය උපන් දින ප්‍රීතියේ සංකේතය බවට පත්වී ඇත්තේ කොතෙක්ද කියනවානම්, උපන් දින කේක් (Birth Day Cake) එක යනුවෙන් එයට විශේෂ නමක් ද ආරෝපනය කර ඇත.

 

එහෙත් මෙලොව අපගේ දිවි මගේ මාර්ගෝපදේශිකාව වන නිර්මල කන්‍ය මරිය තුමියගේ උත්පත්තිය සමරණ විට, එතුමියගේ උපත සමරා කේක් එකක් නිෂ්පාදනය වූ බවක් ප්‍රථම වරට අසන්නට ලැබුනේ 2009 සැප්තැම්බර් 19 වෙනි දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙනුයි. සමහර විට මෙවැන්නක් ලොව සිදුවූ ප්‍රථම අවස්ථාව ද මෙය විය හැකියි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු නිර්මල මරිය තුමී විසිතුන් වතාවක් දර්ශණය වූ ශ්‍රී ලංකාවේ පිහිටි සිද්ධස්ථානයකි. මෙම සිද්ධස්ථානයෙහි නිර්මල මරිය තුමියගේ උත්පත්තිය වාර්ෂීකව සමරණු ලබයි. මරිය තුමීගේ උපත සිදුවූ නිවැරදි දිනය හරියටම දන්නා අයෙක් මෙලොව නොමැත. ඒ නිසා එයට යම් ස්ථීර දිනයක් අපම යොදාගෙන පැවැත්වීම මගින් සිදුවන්නේ එම දිනය, නිර්මල මරිය තුමියගේ උපත ආදරයෙන් යුතුව සැමරීමට ආශාවෙන් සිටින දරුවන්ට නිවාඩු දිනයක් නොවුනහොත් බොහෝ දෙනෙකුට ඊට සහභාගිවීමේ අවස්ථාව ඇහිරී යාමයි. තම උපත වෙනුවෙන් සතුටුවන විශාල දරු පිරිසක් එකට එක්කාසු වනු දැකුම මරිය මවගේද අපේක්ෂාව නොවෙතැයි අපට කිව හැකිද? ස්වර්ග රාජ්‍යයේ රාජේශ්වරිය වන නිර්මල කන්‍ය මරිය මාතාවෝ සුර පුර සිට අප දෙස බලා සිටින විට, එතුමිය වැනි උත්තමාවියක් අප අතර උපත ලැබීම ගැන එතුමියගේ විශාල දරු පිරිසක් එකට එකමුතු වී ප්‍රීති වන අයුරු දැක ගැනුම එතුමියගේ මහත් ආනන්දයට ම හේතු වනු ඇත.

 

එම නිසා සැම දෙනෙකුටම අනවශ්‍ය කරදරයකින් තොරව මරිය මවගේ උත්පත්ති මංගල්‍යයට සහභාගි වීමට හැකි වන අයුරින් නිවාඩු දිනයක් ඒ සඳහා වාර්ෂීකව තෝරාගැන්ම අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ සිරිතයි. ඒ අනුව 2012 වසරේ නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ උත්පත්ති මංගල්‍ය පැවැත්වීම සඳහා උන්වහන්සේ තෝරාගෙන තිබුනේ සැප්තැම්බර් 08 වෙනි සෙනසුරාදාවය.

 

එදින සවස ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා විසින් කන්‍ය මරියෝත්තමාවන්ගේ නිර්මල වූ උත්පත්තිය සමරා, නිර්මල මරිය තුමිය දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දර්ශණීය මණ්ඩපය තුල සන්ධ්‍යා දේව මෙහෙය පවත්වනු ලැබූ අතර, සන්ධ්‍යා දේව මෙහෙය අවසානයේ 2009 වසරේ ආරම්භ කරනු ලැබූ, සිරිතට නැවත පන දෙමින්, මරිය තුමියගේ උපත වෙනුවෙන්ම විශේෂයෙන් ඇණවුම් කර සාදවනු ලැබූ කේක් ගෙඩියක් ආශිර්වාද කර කපන ලදී. එම අවස්ථාවේ සියළුම බැතිමතුන් සහ වන්දනාකරුවන් මහත් සතුටින් අත්පොලසන් දෙන්නට විය. ඉන්පසුව මෙම කේක් ගෙඩිය කුඩා කැබලිවලට කපා බැතිමතුන් සහ වන්දනාකරුන් අතර බෙදා දෙන ලදී.

 

මරිය මවගේ උපන් දිනය සමරා කේක් ගෙඩියක් තැනූ ලොව ප්‍රථම අවස්ථාව එය විය හැකියි. කේක් ගෙඩිය නිල් සහ සුදු වර්ණයෙන් සරසා තිබුණ අතර, ඒ මත කහ පැහැති රෝස මල් සාදවා තිබුණි. කේක් ගෙඩිය මත, BLESSED MOTHER WE REJOICE ON YOUR BIRTH යනුවෙන් සඳහන් වී තිබුණි. එහි අර්ථය නම්, ‛‛භාග්‍යවත් මෑණියනි, ඔබ තුමියගේ උපත ගැන අපි උදම් වෙමු’’ යන්නයි.

 

ලෝකයේ පළමු වරට 2009 වසරේ හෝ සිදුවූ මෙම සිදුවීම පිළිබඳව කන්‍ය මරිය මවු තුමිය මහත් සතුටට පත්වන්නට ඇත. 2012 වසරේදී ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙම සිරිත අතපසු නොකල සේක. ලොව ප්‍රථම වරට මෙම සිරිත ආරම්භ කරනු ලැබුවේ ද අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා විසිනි.