නිර්මල කන්‍ය මරිය තුමියගේ මහා හාස්කම් සිද්ධස්ථානය වන, ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පා නගන බොහෝ දෙනා නිර්මල මවු මරියාවන්ගේ විශේෂ පිහිට වරප්‍රසාදයක් අපේක්ෂා කරන්නෝයි. ජීවිත ගමනේ අසරණව, බලාපොරොත්තු සුන් වී සිටින මොහොතක, තම දයාබර ස්වර්ගීය මෑණියන්ගේ විශේෂ පිහිටක් අත්‍යවශ්‍ය වී සිටින මොහොතක, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත සැදැහැ ජනතාව ඇදී එන්නේ, දෙව් මවුන්ගේ ශ්‍රී නේත්‍රයන් නිරන්තරයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත යොමුවී ඇති බව ඔවුන්ට දැන් සිය අත්දැකීමෙන්ම දැනී ඇති නිසයි.

 

විශේෂයෙන් සෙනසුරාදා සවස පැවැත්වෙන දේව මෙහෙයේ දී බැතිමතුන්ගේ ඉල්ලීම් ‛රතු පෙට්ටිය’ ට දැමීම සඳහා අවස්ථාව උදාවේ. එම අවස්ථාව උදාවන්නේ, හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම අවසානයේයි. නිර්මල කන්‍ය මරිය මාතාවන් පාමුල රතු පෙට්ටියට ලිපියක් දැමීම මෙම හාස්කම් යාච්ඤාවේ අනිවාර්‍ය අංගයක්. ඒ සඳහා පාවිච්චි කලයුතු වන්නේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් නිකුත් කරනු ලබන ලිපි කවරයි.

 

1975 පෙබ්‍රවාරි 11 වෙනි දින නිර්මල කන්‍ය මරිය මවු තුමිය 9 වන වරට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වී පණිවුඩයක් ප්‍රකාශ කරනු ලැබුවා. එම පණිවුඩයේ ප්‍රථම වගන්තිය මෙයයි. ‛‛ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන තැනැත්තිය මමයි. මෙම දේව මෙහෙයන්ට විශ්වාසයෙන් සහභාගි වන අයට ඔබ මගින් දේව වරප්‍රසාද බෙදා දීම මාගේ ආශාවයි’’ දෙව් මවුන්ගේ මේ පොරොන්දුව එදා සිට අද මේ දක්වාම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ඉටුවෙනවා. ඒ නිසාම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ‛මරිය තුමියගේ හාස්කම් සිද්ධස්ථානය’ යනුවෙන් ජනතාව අතරම ප්‍රචලිත වී තිබෙනවා.

 

නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ සරණය සොයා විශ්වාසයෙන් යුතුව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙන සියල්ලන් වෙත එතුමිය සරණය වන්නේ කිසිදු භේදයකින් තොරවයි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ, අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ විසිතුන් වතාවක් දර්ශණය වූ, දර්ශණ දෙව්මැඳුර ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පිහිටා ඇති අතර, හාස්කම් යාච්ඤාව උච්චාරණය කරනු ලබන්නේ, දර්ශණ දෙව්මැඳුර සමීපයෙන් ම ඇති ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලයි.

 

වෙසක් දිනය නිමිත්තෙන් පසුගිය සෙනසුරාදා හාස්කම් යාච්ඤාව පැවැත්වුනේ නැහැ. මැයි 11 වෙනි සෙනසුරාදා සවස 5 ට හාස්කම් යාච්ඤාව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුල පැවැත්වුනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණි ලොකු කුඩා සැදැහැවතුන්ගේ බැතිමත් සහභාගිත්වයෙන්. පැමිණි සියල්ලන්ගේම ආරක්ෂාව වෙනුවෙන් සියළු කටයුතු සංවිධානය කිරීමට සිද්ධස්ථාන පාලක මණ්ඩලය කටයුතු කර තිබුනා.

 

ලබන (මැයි 25) සෙනසුරාදාත් සවස 5 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී හාස්කම් යාච්ඤාව උච්චාරණය කරනු ලබන අතර, ඊට සහභාගි විය යුතුයයි ඔබට සිතුනොත්, සවස 4.30 ට පෙර මේ අසිරිමත් සිද්ධස්ථානය වෙත පැමිණෙන්න.