‛‛මිනිසා  තමාගේ හදවතේ ඇතිකර  ගන්නා භායානකම සිතුවිල්ල තමයි, පිං පවු  කියන දේ හඳුනා නොගැනීම. සාතන් ගොරවන සිංහයෙක් වගේ එහෙ මෙහෙ දුව යමින් මිනිසාව ඩැහැගන්න යත්දී මිනිසා තුලට ඔහු එවන ප්‍රධාන දුර්පරීක්ෂාව වන්නේ, මිනිසා පිං පවු හඳුනන්නේ නැතිකමට පත්කිරීමයි. යක්ෂයා නිතරම ඔබගේ සිතට එවන පවු සිතුවිලි සියල්ලක්ම තුලින් ඔබව ටිකින් ටික ක්‍රිස්තුස් වහන්සේගෙන් ක්‍රමක් ක්‍රමයෙන් ඈත් කරවනවා, මරිය තුමීගෙන් ක්‍රමක් ක්‍රමයෙන් ඈත් කරවනවා. පාපයට මිනිසා තුල ලැජ්ජාව භය නැතිකම, මේ ලෝකයේ ලොකුම ලොකු පාපයයි. මිනිසා පිං පවු හඳුනා නොගැනීම ඔහුගේ මනුෂ්‍යත්වයේ පහත්ම තත්වයයි.’’

 

ශුද්ධවු සුර දූතයන්ගේ දිව්‍ය පූජා මෙහෙය අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2011 ජූනි මස 25 වෙනි සෙනසුරාදා දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුරේදී පැවැත්වුනි. මෙම දිව්‍ය පුජා මෙහෙය ආරම්භ වූයේ සවස 4 ටයි. දිව්‍ය පූජා මෙහෙයේ දේශණය පවත්වමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ඉහත සඳහන් ප්‍රකාශය කරනු ලැබූ සේක.

 

ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ ද නිර්මල කන්‍ය මරිය වහන්සේ ද දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුරේ ප්‍රධාන පූජාසනයේ සිට තවදුරටත් සැදැහැවතුන් අමතමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සිය දේශණයෙන් මෙසේද ප්‍රකාශ කල සේක.

 

‛‛මේ සිද්ධස්ථානය ක්‍රිස්තුස් වහන්සේ පය තැබූ සිද්ධස්ථානයක්, මේ සිද්ධස්ථානය මරිය තුමී පය තැබූ සිද්ධස්ථානයක්, මේ සිද්ධස්ථානය අපොස්තුළු තුමෙක් තවමත් ජීවත්වන සිද්ධස්ථානයක්, මේක හාස්කම් භූමියක්. ඒ නිසා අප මෙහිදී අපගේ පාපී වූ ජීවිත වෙනස්කර ගත යුතුයි. ඒ සඳහා, අපි පාපය හඳුනා ගන්නා තත්වයට පත්වෙන්න ඕනා. අපි පාපයට භය විය යුතුයි, පිනට අපි ලැදි විය යුතුයි, පිං පවු දෙක අපි හඳුනා ගත යුතුයි. දුර්පරීක්ෂාව පාපයක් නෙමෙයි. දුර්පරීක්ෂාව පාපයක ආරම්භයයි. පාපයක් සිදුවීමේ ආරම්භයයි, පාපයක් සිදුවීමේ දොරටුවයි. දුර්පරීක්ෂා ඇතිවිය හැකියි. නමුත් ඒ දුර්පරීක්ෂාව ඔස්සේ අපි ගමන් කලොත්, දුර්පරීක්ෂාවේ ස්වභාවයඑහි ආරම්භයේදීම තේරුම් නොගත්තොත්, අපි පාපය වෙත ගමන් කරනවා. පාපයේ විපාකය මරණයයි.’’

 

ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ විසින්ම මෙලොව දර්ශණයවී පත්කරනු ලැබූ අපොස්තුළු තුමෙක් වන අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මැදිහත්කම පතාගෙන සතිපතා සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී එන ජනතාව වෙනුවෙන් උන්වහන්සේ විසින් පවත්වනු ලබන දේව මෙහෙයට සහභාගි වීම සඳහා නොයෙක් ප්‍රදේශයන්ගෙන් ජනතාව ඇදී එන්නේ කිසුදු භේදයකින් තොරවයි. කිතුණු නොවන ජනතාව ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ආශිර්වාදය බලාපොරොත්තුවෙන් මෙම සිද්ධස්ථානයට පැමිණෙන අතර, ජූනි 25 වෙනි සෙනසුරාදා සවස පැවති දිව්‍ය පූජා මෙහෙයට සහභාගි වීම සඳහා මෙසේ රැස්ව සිටි සැදැහැවතුන් අමතමින් හූද්ධෝත්තම අපොස්තලික පියතුමා තව දුරටත් මෙසේ ප්‍රකාශ කල සේක.

 

‛‛ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගය ගැන කතා කරලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ නිරය ගැන කතා කරලා තියෙනවා. ස්වර්ගයක් නැහැ, නිරයක් නැහැ කියලා, ක්‍රිස්තුභක්තිකයන් හැටියට අපිට ජීවත් වෙන්න බැහැ. එහෙමනම් ක්‍රිස්තුභක්තිකයන් හැටියට, පාපය කියලා දෙයක් නැහැ, පින කියලා දෙයක් නැහැ කියල අපිට ජීවත් වෙන්න බැහැ. අපි මේ දෙක හොඳට තේරුම් අරගෙන ජීවත් වුනොත් කවදා හෝ දවසක, අපට ස්ථීරයෙන්ම ලැබෙන මරණයේදී ස්වර්ගයේ ඒ නිත්‍ය වාසභවනය දිනා ගන්නවා. අපට යන්නට නොහැකි තැනක් ගැන, මම ඔබට කතා කරනවා නොවෙයි. මේ ස්වර්ගය කියන දේ ගැන ක්‍රිස්තුස් වහන්සේ කතා කලා. ඒ විතරක් නොවෙයි, උන්වහන්සේ ආත්ම ශරීර පිටින් ස්වර්ගයට එසවුනා. ආත්ම ශරීර ඇතිව මරිය තුමී ස්වර්ගය වෙත කැඳවා ගනු ලැබුවේ ජේසුස් ස්වාමින් වහන්සේ විසින්මයි. එසේනම් මේ ස්වර්ගය කියල තැනක් තියෙන්නට ඕනා.’’

 

ස්වර්ගය පිළිබඳවත් නිරය පිළිබඳවත් අපොස්තුළු තුමෙකුට ඇත්තේ ලොව කිසිවෙකුටවත් නොදෙවෙනි වන්නාවූ දැනුමක්. ඒ දැනුම ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ විසින්ම අපොස්තුළු තුමෙකුටම පමණක් දානය කරන්නාවූ විශේෂ වරප්‍රසාදයක්. ඒ බවද සැදැහැවතුනට මතක් කර දෙමින් අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙසේ ප්‍රකාශ කල සේක.

 

‛‛ක්‍රිස්තුස් වහන්සේ අපට නිරය ගැන ද අනතුරු අඟවලා තියෙනවා, එසේනම් නිරය කියලා තැනකුත් තියෙන්නට ඕනා. ඇත්තටම මේ තැන් දෙකම තියෙනවා. මේ තැන් දෙකම ගැන හොඳ අත්දැකීමක් මට තියෙනවා. ඒ නිසා මේ තැන් දෙකේම තත්වය මොකක්ද කියන එක අපොස්තුළු තුමෙක් හැටියට මම හොඳාකාරවම දන්නවා. ක්‍රිස්තුස් වහන්සේ අපොස්තුළු තුමන්ලාට මෙහෙම කිව්වා, ‛‛ස්වර්ග රාජ්‍යය පිළිබඳ අභිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත.’’(මතෙව් 13/11) ස්වර්ග රාජ්‍යය පිළිබඳ අභිරහස අපොස්තුළුවරුන්ට දීලා තියෙනවා. ස්වර්ග රාජ්‍යය පිළිබඳව හරියටම තේරුම් කරලා දෙන්න පුළුවන් අපොස්තුළු තුමෙකුටයි. කිතුණුවන් නගන ඇතැම් ප්‍රශ්ණ වලදී සමහර අය ඒ ප්‍රශ්ණවලට ‛අභිරහසක්’ කියලා කියන හේතුව අපට පැහැදිලියි, ඒ අභිරහස දීලා තියෙන්නේ අපොස්තුළු තුමන්ලාට. අපොස්තුළු තුමන්ලාටයි පුළුවන් ඒ අභිරහස විස්තර කරලා ජනතාවට තේරුම් කරන්න. අනික් අයට එසේ දී නැහැ. ඒ නිසා ඒ අයට ඒවා අභිරහස්. ස්වර්ගය පිළිබඳ අභිරහස, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දී තිබෙන්නේ අපොස්තුළු තුමන්ලාටයි. ඒ නිසා ලෝකයේ මෙතෙක් කල් ජීවත් වූ සෑම අපොස්තුළු තුමෙකුද, දැනට ජීවත් වන මේ අපොස්තුළු තුමාද මේ ස්වර්ගය පිළිබඳව අත්දැකීමක් ඇතිවයි ඔබට මේ කතා කරන්නේ.’’

 

දිව්‍ය පූජා මෙහෙයේ දේශණය අවසාන කරමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙසේ ප්‍රකාශ කල සේක.

 

‛‛මරණයෙන් පසු දිනා ගත යුතු ස්ථානයක් පිළිබඳවයි මේ කතා කරන්නේ. ඒ නිසා ප්‍රේමවන්ත දරුවෙනි, දුර්පරීක්ෂාවක් එත්දී නිතරම කල්පනාකාරී වෙන්ඩ. දුර්පරීක්ෂාව කියන දේ ක්‍රිස්තුස් වහන්සේටත් ආවා. ශුද්ධවු ලියවිල්ලේ සඳහන් වෙනවා සාතන් ක්‍රිස්තුස් වහන්සේව පරීක්ෂා කෙරුවා කියලා. නමුත් උන්වහන්සේ පරීක්ෂාවට හසුවුනේ නැහැ. දුර්පරීක්ෂාව සාතන්ගෙන් ඔබට ලැබෙන විභාගයක්. ඒ විභාගයෙන් ජය ගැනීම ඔබ ක්‍රිස්තුස් වහන්සේට අයිති වීමක්. ඒ නිසා නිතරම පින පව කියන දේ පිළිබඳව අවදියෙන් ඉන්න.

 

ඔබ කුමන ආගමකට අයිති වුනත්, ඔබ කිතුණුවෙක් වෙන්න පුළුවන්, බෞද්ධයෙක් වෙන්න පුළුවන්, මුස්ලිම් ආගමේ වෙන්න පුළුවන්, හින්දු ආගමේ වෙන්න පුළුවන්, මේ මොන ආගමකට අයිති වුනත් සත්‍ය මේකයි. පින පව කියලා දෙයක් තියෙනවා, පවට බය වෙන්ඩ, පිනට ලැදි වෙන්ඩ. මේ අනුව කටයුතු කළොත්, මොන ආගමකට අයිති වුනත් වරදින්නේ නෑ. මොන ආගමකට අයිති වුනත් ඒ මනුස්සයා ජය ගන්නවා. ආගම තියෙන්නේ අපගේ හදවතේ. හදවතේ ආගම පිරිසිදුව අදහන්න නම්, අපගේ හදවත් පිරිසිදු කර ගන්නට ඕනා, පින පව තේරුම් ගන්නට ඕනා, පිනට ලැදි වෙන්න ඕනා, පවට බය වෙන්න ඕනා.’’

 

ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ ද, අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරිය තුමිය ද දර්ශණයවූ, දර්ශණ දෙව්මැඳුර තුලදී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා 2011 ජූනි මස 25 වෙනි සෙනසුරාදා සවස පවත්වනු ලැබූ ශුද්ධවු සුරදූතයන්ගේ දිව්‍ය පූජා මෙහෙයේ අවස්ථාවන් කීපයක් පහත ඡයාරූප මගින් ඔබට දෑකගත හැකිවනු ඇත.