අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා 2014 පෙබ්‍රවාරි 22 වෙනි සෙනසුරාදා දින සවස ශුද්ධවු අපොස්තූළුතුමන්ලා වන පේදුරු සහ පාවුළු අපොස්තුළු තුමන්ලාගේ නාමයන්ට කැපකර ඇති ශුද්ධවු පේදුරු සහ පාවුළු උයනේදී පවත්වනු ලැබූ දිව්‍ය පූජාවේදී, සෑම භාෂාවකම ඇති ‛‛සමාව’’ නැමති වචනය පිළිබඳව රැස්ව සිටි බැතිමතුන්ට පැහැදිලි කරමින් සිය දේශණය පවත්වනු ලැබුවා.
ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ප්‍රකාශ කරනු ලැබුවේ, ‛‛සමාවෙන්න කියන වචනය සෑම භාෂාවකම තියෙන ඉතා යහපත් වචනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සමාව කියන වචනය හුඟක් ලොකු තේරුමක් ඇති වචනයක් වගේම ශ්‍රේෂ්ඨ වටිනාකමක් ඇති වචනයක්. මෙම වචනය අපි පාවිච්චි කල යුත්තේ තේරුමක් ඇතිවයි. නමුත් සමහර අය තේරුමක් නැතිවත් මෙය පාවිච්චි කරනවා.’’ කියලයි.
‛‛සමාවෙන්න’’ කියන වචනය ශ්‍රෙෂ්ඨ වචනයක් වූවත්, ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සිය දේශණය පවත්වමින් ප්‍රකාශ කරනු ලැබුවේ, අද සමාජය තුල එය නොසන්ඩාල වචනයක් බවට පත්වී ඇති බවයි. ඒ බව පැහැදිලි කරමින් උන්වහන්සේ මෙලෙස පැවසුවා. ‛‛කාටවත් හිරිහැරයක් කරදරයක් නොවන පිළිවෙලට අපි ජීවත් වෙන්න ඕන. මොකද සමාවෙන්න කියන මේ ශ්‍රේෂ්ඨ වචනය පාවිච්චි කරන්න වෙන්නෙ අපි කාටහරි හිංසාවක් කරදරයක් කල විටයි. එහෙනම් අපි කාටවත් කරදරයක් නොකර ජිවත් විය යුතුයි. එවිට මේ ‛සමාවෙන්න’ කියන වචනය ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් උදාවෙන්නේ නැහැ. සමාවෙන්න කියන වචනය ඇත්තටම වැදගත් වචනයක් මෙන්ම මෙය මහත්වරුන්ගේ වචනයක්. නමුත් අද සමාජය තුල මේ සමාවෙන්න කියන වචනය නොසන්ඩාල වචනයක් බවට පත්වෙලා තියෙනවා. මේ උතුම් වචනය නිකම් ඉබාගාතේ පාවිච්චි කරන, කොයි වෙලාවෙත් කටින් පනින්න බලාඉන්න වචනයක් වෙලා. මේ උතුම් වචනය මහ නොසණ්ඩාල වචනයක් වෙලා.’’
මෙහිදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, ‛සමාවෙන්න’ කියන වචනයේ තේරුම සහ එය පාවිච්චි කල යුත්තේ කුමන අවස්ථාවලදී ද යන්න දැනගත්තේ වර්ෂ 1962 දී බවත්, එවිට උන්වහන්සේගේ වයස අවුරුදු 5 ක් බවත් පවසා, ඒ දැනුම ලබාගත හැකිවූ ආකාරය ද විස්තර කරනු ලැබුවේ රැස්ව සිටි සැදැහැවතුන්ට සුවිශාල අවවාදයක් එක්කරමිනුයි. එතැන් සිට මෙම දේශණය පවත්වන දිනය දක්වා (2014 පෙබ්‍රවාරි 22) උන්වහන්සේ ‛සමාවෙන්න’ නැමැති වචනය පාවිච්චි කර ඇත්තේ අට වතාවක් පමණක් බවත් උදාහරණ ද සමගින් ප්‍රකාශ කලේ, අවවාදාත්මක ආදර්ශක් ද එක්කරමිනුයි.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ සිට රැස්ව සිටි සැදැහැවතුන් අමතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙලෙසද ප්‍රකාශ කරනු ලැබුවා.
‛‛සමාවෙන්න කියන මේ වැදගත් වචනය අපි බොහෝම පරිස්සමෙන් පාවිච්චි කල යුතුයි, එසේ නම් මෙම වචනය පාවිච්චි කල වාර ගණන මතක තියාගන්න, ඒ වගේම පාවිච්චි කල අවස්ථාවන් ද මතක තබා ගන්න. මොකද මේ සමාවෙන්න කියන බෝහෝම තේරුමක් ඇති වචනය අපි පාවිච්චි කරල තියෙනවා නම්, අපි එය පාවිච්චි කර ඇත්තේ, අපි වැරදි දේ කර ඇත්නම් පමණයි, කවරෙකුට හෝ කරදරයක් කර ඇත්නම් පමණයි. ඉතින් අපි කාටවත් කරදරයක් නොකරන පිළිවෙලට ජීවත් විය යුතුයි. ‛සමාවෙන්න’ කියන වචනය නිදහසට කියන වචනයක් නොවෙයි.’’
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දිව්‍ය පූජාවට සහභාගි වීම සඳහා විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ රැස්ව සිටි පිරිස අමතා තව දුරටත් සිය දේශණය සිදු කරමින් උන්වහන්සේ මෙසේ ද ප්‍රකාශ කරනු ලැබුවා.
‛‛හොඳ සහ නරක මේ දෙකම තේරුම් අරගෙන අපි ජීවත් වූවොත් පමණයි අපට ස්වර්ග රාජ්‍යයට පිවිසිය හැක්කේ. ඒ නිසා අපගේ ජීවිතයේ ඇති වැරදි අඩුපාඩු අපි හදාගත යුතුයි. ජීවත් වන විට අපි සිහි බුද්ධියෙන් ජීවත් විය යුතුයි. අපගේ ජීවිතයන් කොයි මොහොතේ හමාරවෙයි ද කියන්න අපි දන්නේ නැති නිසා, අපට ඇති අවස්ථාවෙන්, කාලයෙන් ප්‍රයෝජන අරගෙන, අපගේ ජීවිතයන් තුල ඇති වැරදි අඩුපාඩු අපි හදා ගත යුතුයි.’’
‛‛ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට දේශණා කල ධර්මය කියෙව්වට, ඒ ධර්මය අසා සිටියට මදි, ඒ ධර්මය අනුව ජීවත්වන්නේ නැත්නම්. ඇත්තෙන්ම ඔබ ක්‍රිස්තුස් වහන්සේ දේශණා කල ධර්මය නිතර මෙනෙහි කරමින්, ඒ ධර්මය අනුව ජීවත්වනවා නම් ඔබ වැරදි කරන්නේ නැහැ, මේ ධර්මය අපේ හදවතට ඇතුලත් කරගත යුතුයි. එය සියළු ක්‍රිස්තියාණින්ගේ යුතුකමක්.’’
දේශණය අවසන් කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා රැස්ව සිටි ලොකු කුඩා සැමටම රත්තරන් අවවාදයක් දෙමින් මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා.
‛‛යම් කෙනෙකුට සමාව දුන්නොත් ඔහු කල වරද අමතක කරන්න, ඔබ යම් කෙනෙකුගෙන් සමාව ගත්තොත් ඔබ කල වරද මතක තියා ගන්න. ආයෙත් ඒ වරද නොකරන්න කටයුතු කරන්න. හැබැයි එකම වරදට දෙපාරක් සමාව ඉල්ලන්න එපා, ඒක මනුෂත්වයේ ගුණාංගයක්.’’
2014 පෙබ්‍රවාරි 22 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු උයනේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසින් පුදකරනු ලැබූ දිව්‍ය පූජා මෙහෙයේ අවස්ථාවන් කීපයක් මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි