පසුගිය ජනවාරි 17 වෙනි දින, පානදුර, ආලෝකා වැඩිහිටි නිවාසයේ ජීවත්වන වයෝවෘද්ධ මවුපියන් රැසක් මැද යුග දිවියට ඇතුලත්ව මංගල ගමන් ඇරඹූ ජාඇල රංග සහ සදුනි නව යුවලගේ විවාහ මංගල දේව මෙහෙය සිදු කරනු ලැබුවේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසිනි.

 

එදිනමංගල දේව මෙහෙයේ දේශණය පවත්වමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා නව යුලට අනුශාසනා කරමින් කියා සිටියේ, දෙදෙනෙක් එකතුව එක මගක යන ගමනක දී, එම දෙදෙනා අතර පුංචි පුංචි ගැටළු ඇතිවීම ස්වභාවික බවත්, එවැනි දේ දුර දිග යාමට ඉඩ නොදී, එකිනෙකාගේ දෙමාපියන් සමග හෝ යහළුවන් සමග පැවසීමෙන් වැලකී දෙදෙනා එකට එක්ව සාකච්ඡා කර විසදා ගත යුතු බවත්ය. එසේ නොකලහොත් පුංචි ප්‍රශ්ණ බොහෝ උග්‍ර විය හැකි බව පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ඕනෑම ගැටළුවක් දෙදෙනා එකට එක්ව විසදා ගත හැකි මට්ටමේ සුහද වතාවරණයක් තබාගත යුතු බව ද ප්‍රකාශ කල සේක.

 

රංග සහ සදුනි නව තරුණ යුවල තමන් ලගින්ම වාඩිකරවාගෙන දයාබර පියෙක් මෙන් ඔවුන්ව අමතනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මොනම ප්‍රශ්ණයක් ගැන හෝ සාකච්චා කරන විට, පරිඝනකය දෙස බලාගෙන හෝ, රූපවාහිනිය හෝ ජංගම දුරකතනය දෙස බලාගෙන හෝ නොව, දෙදෙනාට දෙදෙනා දෑස් බලාගෙන සාකච්චා කල යුතු බවද, ප්‍රශ්ණයෙන් ජය ගත යුත්තේ එක් අයෙක් නොව දෙදෙනාම බවත්, ඒ සදහා එක් අයෙකුට යම් කැපකිරීමක් හෝ පරිත්‍යාගයක් කිරීමට සිදුවිය හැකි බවත් පැවසූ සේක.

 

ආදරය සැගවී ඇත්තේ කැපකිරීම සහ පරිත්‍යාගය තුල බව පවසා සිටි අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, සෑම ගැටළුවක්ම රාත්‍රී නින්දට පෙර විසදාගෙන අවසන් කල යුතු බව ද නව යුවල අමතා ප්‍රකාශ කල සේක.

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නැතහොත් සමහර විට මේ මුළු ලෝකයේම ප්‍රථම වරට කිතුණු යුවලකගේ සරණ මංගල දේව මෙලෙසින් වැඩිහිටි නිවාසයක සිදු වූයේ, පානදුර, පින්වත්තේ, ආලෝකා වැඩිහිටි නිවාසයේ දී, 2019 ජනවාරි 17 වෙනි දිනයි.

 

තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කෑම බීම ඇති ඥාති මිත්‍රාදින් කැදවා ඔවුන්ට කන්න බොන්න දී තම ජීවිතයේ වටිනාම දවස මෝඩ ලෙසින් අරඹනවාට වඩා, දරුවන් විසින් තම ගෙවල්වලින් පිටමන් කර, අද සමාජයෙන් ද වෙන් වී හුදකලාව ජීවත්වන අසරණ වයෝවෘද්ධ මා පියන් වෙනුවෙන් මංගල භෝජනය පිළිගන්වා, තම ජීවිතයේ යුග දිවි අරඹන වටිනාම දවස පින්බර ලෙසින් මෙලෙස ඥානාන්විතව ආරම්භ කරන ලෙස මේ නව යුවලට උපදෙස් දී තිබුනේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසින්මය. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උගැන්වීමක් අනුව වේ.

 

පානදුර, ආලෝකා වැඩිහිටි නිවාස භූමියේ දර්ශණීය අන්දමින් ඉදිකර තිබූ අට්ටාලයක සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නව යුවල ආසිරි ගැන්වූ අයුරු ද, දේව මෙහෙයෙන් පසුව, අසූවක් පමණ වූ වයෝවෘද්ධ අසරණ මවුපියන් වෙනුවෙන් මංගල භෝජනයේ ආරම්භය සනිටුහන් කරමින් පිළිගැනීමේ සිසිල් බීම සංග්‍රහය ද මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකිවනු ඇත