සෑම මාසයකම පළමුවන සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පැවැත්වෙන සන්ධ්‍යා නුවාන මෙහෙය 2013 මැයි මස 4 වෙනිදා ද පැවැත්වුනේ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙනුයි. ඒ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදීයි.

 

අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන, කටුනායක අප ස්වාමිදූගේ ගෞරවය සහ මහිමය පිණිස පැවැත්වෙන මෙම සන්ධ්‍යා නුවාන මෙහෙයට සහභාගිවීම සඳහා එදිනත් විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණි සැදැවතුන් රැසක් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථායේ රැස්ව සිටියා.

 

සන්ධ්‍යා නුවාන මෙහෙයට සහභාගි වෙමින් සිටි සැදැහැවතුන් අමතා සිය දේශණය පවත්වමින්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා.

 

‛‛ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොව ජීවතුන් අතර සිටියදී පැහැදිලිවම ප්‍රකාශ කෙරුවා මෙන්න මෙහෙම. ‛‛වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න, මම ඔබට සහනය දෙමි. මා ගුණවත්, මෘදු, නිහතමානි කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙන ගන්න.’’ (මතෙව් 11: 28-29) ජේසුස් ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ අනුගාමිකයන් වන අපට පොරොන්දුවක් වෙනවා. මම ඔබට සහනය දෙනවා. වෙහෙස වෙන, බර උසුලන සියල්ලන්ට, ඒ කියන්නේ අසහනයට පත්වූ අයට උන්වහන්සේ ළඟ සහනය තියෙනවා, ජේසු ළඟ සහනය තියෙනවා. උන්වහන්සේ එයට කළ යුතු පිළියම කියනවා. ජේසුගෙන් ඉගෙන ගන්න කියලා කියනවා. එහෙමනම් ක්‍රිස්තියාණි අපේ ජීව වායුව, ක්‍රිස්තියාණි අපේ ඔක්සිජන් ටික, ජේසුගේ වචනයි. අපි ජේසුගේ වචන සොයා යන්ඩ ඕනා. ජේසුස් ස්වාමින් වහන්සේ දේශනා කරපු වචන සොයා යනවා කියන්නේ, ඒ වචන හරියාකාරව දැනගෙන ඒ අනුව ජීවත් වීමයි.’’

 

ජේසුස් ස්වාමින් වහන්සේගේ වචනය අපගේ ජීව වායුව ලෙස හඳුන්වා දුන් ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, එම ජීව වායුව අපට සම්බන්ධ කරන්නේ මරිය තුමිය බව, රැස්ව සිටි සැදැහැවත් ජනතාව අමතා මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා.

 

‛‛මරිය තුමිය තමයි මේ ජේසුගේ වචනය කියන ජීව වායුව අපට සම්බන්ධ කරන්නේ. ඔබට මතකද? කානා හි, මගුල් ගෙදරදී, එතුමිය එහි සේවකයන්ට පැවසූ දේ. ‛මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්න.’ (ජුවාම් 2: 5) ඔවුන් එය ඉටු කළා. එදා ඔවුන්ගේ අසහනයට සහනය ලැබුනා. ජේසු කිව්ව කොයි දෙයක් වුනත් කරන්න. එහෙම නම් මේ ජේසු කිව්ව කොයි දේත් අපි දැනගන්නට ඕනා.’’

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු, නිර්මල කන්‍ය මරිය තුමිය ජීවමානව දර්ශණය වූ සිද්ධස්ථානයක්. එතුමිය ජීවමානව දර්ශණය වූ සිද්ධස්ථාන ලෝකයේ විවිධ රටවල ඇතත්, මේ ශ්‍රී ලංකාවේ දී මරිය තුමිය ජීවමානවම දර්ශණය වූ ප්‍රථම සිද්ධස්ථානය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. ඒ විතරක් නොවෙයි, ශ්‍රී ලංකාවේ දී මරිය තුමිය ජීවමානවම දර්ශණය වූ එකම සිද්ධස්ථානය ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. සෑම මාසයකම පළමුවන සෙනසුරාදා පැවැත්වෙන සන්ධ්‍යා නුවාන මෙහෙයේ 2013 මැයි මාසයේ පළමුවන සෙනසුරාදා සවස නුවාන මෙහෙයේ දේශණය පවත්වමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කරනු ලැබුවා.

 

‛‛අද ජේසුස් ස්වාමින් වහන්සේ දෙසූ ධර්මයට, මේ වෙනකොට දැන් අවුරුදු දෙදහසකටත් වැඩියි. ඉතින් දැන් එය එක්තරා ජාවාරම් කරුවන්ගේ කම්පැනි බවට පත් වෙලා, සමාගම් බවට පත් වෙලා. ඒ නිසා දේව වචනය මනුෂ්‍යයා තුලට පැමිණීම හිර වෙලා. ඒ නිසා සියළු ක්‍රිස්තියාණින් අද දුක් විඳිනවා. සියළු ක්‍රිස්තියාණින් තුල අසහනය පවතිනවා. සියළු ක්‍රිස්තියාණින් තුල රෝගී බව, අසහනය නැමැති රෝගී බව තියෙනවා. අපි දේව වචනය සොයා ගියොත්, දේව වචනය අපි සෙව්වොත්, ප්‍රිය දරුවෙනි, අපිට වරදින්නේ නෑ. ජේසුස් ස්වාමින් වහන්සේ කියනවා උන්වහන්සේගෙන් සහනය ලබා ගන්ඩ මොකක්ද කරන්ඩ ඕනා. මගෙන් ඉගෙන ගන්ඩ, ඒ කියන්නේ ජේසුගෙන් ඉගෙන ගන්ඩ. ජේසු තමයි අපේ ශ්‍රේෂ්ඨ ගුරුවරයා, වෙන කවුරුත් නෙමේ. ඒ ගුරුවරයා කියලා තියෙන දේ ඔබ පැහැදිලිව තේරුම් ගන්නට ඕනා. එහි අඩුව පිරිමහන්ඩ තමයි මරිය තුමීව මේ ලෝකෙට නැවත වරක් ජේසු එව්වේ.’’

 

අද ලෝකයේ ජීවතුන් අතර සිටින, ජේසුස් ස්වාමින් වහන්සේ විසින් තෝරාගනු ලැබූ අපොස්තුළු තුමාණන් වන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා සැදැවතුන් තවදුරටත් අමතමින් මෙලෙස ද ප්‍රකාශ කරනු ලැබුවා.

 

‛‛ජේසු තකහනියේ ඇවිල්ලා ලෝකෙට අපොස්තුළු තුමෙක් තෝරන්ඩ ඕනා කියලා තීරණයක් ගත්තනම්, ඒක මොන තරම්, ශ්‍රේෂ්ඨ, ඒ වගේම මොන තරම් භාරදූර තත්ත්වයක් එතන තියෙනවද ජේසුට පේන්ඩ. ජේසුට සුපැහැදිලිව පේනවා. මේ ලෝකය තුල ජේසුගේ ධර්මය මිනිස්සුන්ට ලැබෙන ආකාරය හිර වෙලා. ඒක ලැබෙන්නෙ නෑ. මිනිස්සු පන අදිනවා ධර්මය නොදන්නකමින්. ප්‍රිය දරුවෙනී, අන්න ඒ ධර්මය ඔබට ග්‍රහණය කරගන්ඩ මං අත දෙන්නම්. මට අවශ්‍ය ඔබ සියළු ක්‍රිස්තියාණි ජනතාව ජේසුගේ ධර්මය හරියට දැන ගැනීමයි. ඊට පස්සේ ඒ අනුව ජීවත් වෙන්ඩ. ඒක අමාරු නෑ. ඒක අමාරුයි කියලා පේනවනම් එහි තේරුම ඔබ එය හරියාකාරව වටහාගෙන නෑ.’’

 

ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සිය දේශණය සමාප්ත කරමින් ප්‍රකාශ කලේ,

 

‛‛සියළු ක්‍රිස්තියාණින්ගේ ජීව වායුව ජේසුගේ වචනයයි.’’