ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ සුරතේ පළඳා ඇති, අසිරිමත් ලෙස පිච්ච මල් සුවඳ පැතිරෙන ශුද්ධවු අපොස්තලික මුදුව පිළිබඳව බොහෝ දෙනෙක් දන්නා අතර, එම අසිරිමත් මුදුව මේ වන විට දහස් සංඛ්‍යාත ජනතාවක් සිපාචාර කර ඇත. විවිධ ජාතීන්ට අයත්, විවිධ ආගම්වලට අයත්, නොයෙකුත් තරාතිරමේ පුද්ගලයන් මෙම පිච්ච මල් සුවඳ විහිදෙන අපොස්තලික මුදුව ආදරයෙන් ද භක්තියෙන් ද යුතුව සිපගෙන ඇත.

 

මෙම මුදුව රත්තරනින් නිමවා ඇත. මිනිස් අපට රත්තරන් යනු වටිනා දෙයකි. එහෙත් දෙවියන් වහන්සේ ඉදිරියේ රත්තරන් යනු යම් ලෝහ වර්ගයක් පමණි. එසේ නම් එම රත්තරන් නැමැති ලෝහයෙන් තනා ඇති මුදුවකින් පිච්ච මල් සුවඳ නිකුත් වීමට ආරම්භ වී ලබන ජූලි මස 1 වෙනි දිනයට වසර 39ක් සම්පූර්ණ වේ.

 

මෙලෙස පිච්ච මල් සුවඳ පැතිරෙන මුදුවක් ඇත්නම්, එවැනි මුදුවක් ලෝකයට ම ඇත්තේ එකක් පමණයි. ඒ එකම මුදුව ඇත්තේ ද, කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානයේයි. ඒ මුදුවෙන් පිච්ච මල් සුවඳ හමන හේතුව බොහෝ දෙනෙක් දන්නා අතර, එම හේතුවට වසර 39 ක් සම්පූර්ණ වීම ලබන ජූලි මස 1 වෙනි සෙනසුරාදාට යෙදේ. එනම් එම මුදුව නිර්මල කන්‍ය මරිය තුමිය එතුමියගේ සුරතට ගෙන තිස්නව වසරක් සම්පූර්ණ වන්නේ ලබන සෙනසුරාදාටයි.

 

1978 ජූලි 1 වෙනි දින, නිර්මල කන්‍ය මරිය තුමී 19 වන වරට අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට දර්ශණය වූ අවස්ථාවේදී, මෙම ශුද්ධවූ අපොස්තලික මුදුව එතුමියගේ සුරතට ගෙන, ටික වේලාවක් එතුමියගේ සුරතෙහි තබාගෙන සිට, ආපසු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ටම භාරදෙනු ලැබුවාය. එතැන් සිට මේ දක්වාම, මෙම ශුද්ධවූ අපොස්තලික මුදුවෙන් නොකඩවා පිච්ච මල් සුවඳ විහිදේ. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සුරතෙහි පළඳා ඇති ශුද්ධවු අපොස්තලික මුදුව, මරිය මවගේ ශ්‍රී හස්තයන්ට ගෙන, ලබන ජූලි මස 1 වෙනි දිනයට වසර තිස් නවයක් සම්පූර්ණ වන අතර පුදුමය නම් තවමත් මෙම අපොස්තලික මුදුවෙන් පිච්ච මල් සුවඳ පැතිරීමයි. ඇත්තටම මෙය මහා පුදුමයක් නොවන්නේද?

 

වසර 39 කට පෙර, එනම් 1978 ජූලි 1 වෙනි දින නිර්මල කන්‍ය මරිය තුමිය 19 වන වරට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ සිදු වූ දර්ශණයේ විශිෂ්ඨතම විශේෂත්වය වන්නේ, නිර්මල කන්‍ය මරිය තුමිය සිය පණිවිඩය ප්‍රකාශ කිරීමෙන් පසුව, පිළිවෙලින් අපොස්තලික සැරයටිය ද, අපොස්තලික මුදුව ද, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් පාවිච්චි කරමින් සිටි ජපමාලය ද, දෙව් මවුන්ගේ අතට ගෙන, ආපසු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ටම ප්‍රධානය කිරීමයි.

 

අපොස්තලික සැරයටිය ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විශේෂ දේව මෙහෙයන්වලදී මේ වන විටත් පාවිච්චි කරනු ලබයි. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දැනටත් සිය සුරතේ පළඳා සිටින්නේ වසර 39 කට පෙර, එනම් 1978 ජූලි 1 වෙනි දින නිර්මල මරිය තුමියගේ සුරතට ගනු ලැබූ අපොස්තලික මුදුවයි. එවකට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පාවිච්චි කරමින් සිටි ජපමාලය, නිර්මල කන්‍ය මරිය මවු තුමිය එතුමියගේ සුරතට ගැනීමෙන් පසුව, එම ශුද්ධවූ ජපමාලය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින්, නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාවකට පළඳවා, යම් යම් අවස්ථාවන්වල දී එම ශුද්ධවූ ජපමාලය පැළඳූ දෙව් මවු ප්‍රතිමාවෙන් බැතිමතුන්ට ආශිර්වාදය දානය කරනු ලබයි. නිර්මල මරිය තුමියගේ සුරතට ගනු ලැබූ එම ජපමාලය පළඳවනු ලැබූ දෙව් මවු ප්‍රතිමාවෙන් ලබන ජූලි 1 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ආශිර්වාදය දානය කරනු ලබන්නේ ද, 39 වසරකට පෙර නිර්මල මරිය තුමිය එතුමියගේ සුරතට ගනු ලැබූ පිච්ච මල් සුවඳ පැතිරෙන අපොස්තලික මුදුව ද සිය සුරතේ පළඳාගෙන වීම සුවිශේෂී ආශිර්වාදයකි.

 

මෙම පිච්ච මල් සුවඳ පැතිරෙන අපොස්තලික මුදුව සිපාචාර කිරීමෙන් ද බැතිමතුන් වරප්‍රසාද ලබා ඇති අතර, රෝගීන් සුවපත් වීම් ද වාර්තා වී ඇත.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් නිරන්තරයෙන් ඔබට අසන්නට ලැබෙන්නේ බොහෝ පුදුමාකාර දේ ය. හේතුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ම ලෝකයට තෝරා දුන් අපොස්තුළුතුමෙක් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි ජීවත් වන බැවිනි. නිර්මල කන්‍ය මරිය තුමියගේ දෙනෙත් නිරතුරුවම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත යොමු වී ඇති බැවිනි. ජේසුස් ස්වාමින් වහන්සේ ද නිර්මල කන්‍ය මරිය තුමිය ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වී ඇති බැවිනි. ස්වර්ගීය දේව දූතයන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ නිරන්තරයෙන් (ඇතැම් අවස්ථාවල සැදැහැවතුනට පෙනි පෙනීම) සැරිසරන බැවිනි. තවත් කීමට ඇති අසිරිමත් දේ බොහෝමයකි, ඉදිරියේ දී කියන්නට සිදුවන තව අසිරිමත් දේ ද බොහෝ ඇත.

 

මේ සියල්ලක් අසන දකින ඔබ ‛මෙවැන්නක් කෙසේ විය හැකිදැයි’ (ලූක් 134) සිතනු ඇත. ඊට පිළිතුර මෙයයි.

 

සර්වබලධාරී දෙව් මහෝත්තමයාණෝ, ගාබ්‍රියෙල් අග්‍ර දේව දූතයා මාර්ගයෙන්, මරිය තුමියට මංගලම් කිවූ අවස්ථාවේ දී, එතුමියට පැවසූ මෙම වගන්තිය, ලොව සියළු ජනයා, විශේෂයෙන්ම සියළුම ක්‍රිස්තියාණින් නිරන්තරයෙන් සිහිපත් කල යුතු කාලය දැන් නැවතත් ලෝකයට උදා වී ඇත. එම වගන්තිය මෙයයි. ‛‛දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැත’’ ශුද්ධවූ ලියවිල්ලේ, ලූකස් තුමාගේ සුවිශේෂයේ පළමුවන පරිච්ඡේදයේ, තිස්හත් වන වගන්තියේ මෙය සඳහන් වේ.