මින් අවුරුදු 47 කට පෙර, එනම් 1974 ජුලි මස 04 වෙනිදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ සදාදරණීය පියාණන් වන ජී. සී. අපොන්සු මැතිතුමා වසර 62 ක් ආයු වළඳා මෙලොවින් සදහටම සමුගත් දිනයයි. ජී. සී. අපොන්සු මැතිතුමා පානදුර ප්‍රදේශයේ උපන්, දැඩි බෞද්ධ වටපිටාවක හැදී වැඩී, බෞද්ධ ප්‍රතිපත්ති තම ක්‍රියාවෙන් පමණක් විදහා දැක්වූ, ධනවත් සිල්වත් පින්වත් බොදු බැතිමතෙකි. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මෑණියන් වන මාග්‍රට් අපොන්සු මැතිණියව සරණපාවා ගෙන, කටුනායක ප්‍රදේශයේ පදිංචි වූ එතුමා පසුකාලීනව ප්‍රදේශයේ බොහෝ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් විය. 1957 වර්ෂයේ පෙබරවාරි පළමු දින මධ්‍යම රාත්‍රියේ මෙලොවට උපන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, මාග්‍රට් අපොන්සු මැතිනියගේ කුසයේ පිළිසිඳ ගත් දා සිට, ජී. සී. අපොන්සු මැතිතුමාගේ ව්‍යාපාරයන් විශ්වාස කළ නොහැකි ආකාරයට දිනෙන් දින දියුණුවෙන් දියුණුවට වර්ධනය වී ලාභ ලබා ඇත. එපමණක්ද නොව, නව ව්‍යාපාරික අවස්ථා රාශියක් හරහා තම ව්‍යාපාර කටයුතු නවතම ක්ෂේත්‍රයන් ගණනාවක් ඔස්සේ වඩාත් පුළුල් කර ගැනීමට අවස්ථාව ලැබීමත් සමග ජී. සී. අපොන්සු මැතිතුමා එසමයේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් අත්පත් කර ගැනීමට සමත් විය.

 

ධනවත් මෙන්ම සත්ගුණවත් ජී. සී. අපොන්සු මැතිතුමාගෙන් උදව්වක් පතා පැමිණෙන ඕනෑම කෙනෙකුට, කිසිදු ජාති ආගම් භේදයකින් තොරව නොමසුරුව උදව් කළ, එතුමාගේ අනන්‍යතාවයන්, එතුමා ආධාර කළ පල්ලි පන්සල් වල අදටත් දකින්නට ලැබෙයි. අවශ්‍යතාවය ගැන පමණක් සලකා බලා අදාල පියවරයන් පමණක් ගනු ලබන එතුමා, කිසිවිටෙකත් තමන් විසින් ප්‍රදානය කර දෙනු ලැබූ දේ පිළිබඳව කිසිදු ආකාරයක ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවූ උතුම් මිනිසෙකි. ප්‍රතිපත්තියක් ලෙස තමන් ආධාර කළ කිසිම ස්ථානයක, කිසිම විවෘත කිරීමකට, එතුමා මිය යන තුරාවට සහභාගී වී නොමැත. ජී. සී. අපොන්සු මැතිතුමාගේ එම ප්‍රතිපත්තිය දන්නා සැවොම එවැනි කර්තව්‍යයන් සඳහා කැමති කරවාගෙන, ආරාධනා කර ඇත්තේ අපොන්සු මැතිණියටයි.

 

බෞද්ධ සාරධර්මයන්ගෙන් පිරිපුන්, උතුම් මනුෂ්‍යත්වයේ ගති පැවතුම් වලින් අග තැන්පත්වූ, සත්ගුණවත් ජී. සී. අපොන්සු මැතිතුමාට දාව, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මාග්‍රට් අපොන්සු මැතිණියගේ කුසයේ පිළිසිඳ ගත් දා සිට, එතුමා මිය යන දින දක්වා පැවත ඇත්තේ නොවිසඳුන කුතුහලයකි.

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මාග්‍රට් අපොන්සු මැතිනියගේ කුසයේ පිළිසිඳ ගත් දා සිට ජී. සී. අපොන්සු මැතිතුමා වටා සිදුවන්නට වූ විශ්මයජනක කාරණාවන් පිළිබඳව එතුමා දැඩි ලෙස කල්පනා කරමින්, ගෙමිදුලේ හෝ ගෙදර ඉස්තෝප්පුවේ පැය ගනන් සක්මන් කරමින්, ඒ පිළිබඳව විද්වතුන්ගෙන් කරුණු කාරණා සොයා දැනගැනීමට උත්සහ කර ඇත්තේ, මේ ඉපදීමට පෙරුම් පුරනා ආත්මයත්, 1957 පෙබරවාරි පළමුවෙනිදා මධ්‍යම රාත්‍රියේ උපත ලැබූ මේ අති සුවිශේෂී ආත්මයත්, කවුරුන්ද යන වගයි. එම ඉපදීම අපොන්සු මැතිතුමාගේ සිතෙහි පෙරළිකාර ප්‍රහේලිකාවක් වී ඇත්තේ එකල විසූ අති ප්‍රසිද්ධ අව්‍යාජ දෛවඥයන්ට පවා එයට නිසි පිළිතුරක් ලබා දීමට නොහැකී වී තිබූ නිසාවෙන්ය. වාසනාවකට එම කුතුහලයට 1975 පෙබරවාරි මස 7 වෙනිදා නියම පිළිතුර ලැබෙන අවස්ථාවේදී, එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ස්වර්ගයේ සිට මෙලොවට වැඩම කර අපොස්තුළුවරය නැමති දිව්‍ය පත්වීමෙන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව තෝරාගෙන අභිෂේක කරන අවස්ථාව වන විට, ජී. සී. අපොන්සු මැතිතුමාට මෙලොව විසීමට වරම් නොතිබුනි.

 

ජී.සී. අපොන්සු මැතිතුමා මිය යන විට, මාග්‍රට් අපොන්සු මැතිණියටත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ටත් කිසිවෙකුටහෝ අතනොපා ජීවත් වීමට හැකි, මහත් වූ ධනස්කන්ධයක් ඉතිරි කර දී ඇත. එම ඉතිරි කළ ධනය කොපමණදැයි කිවහොත්, ජී .සී. අපොන්සු මැතිතුමා මිය ගොස් අවුරුදු 47 ක් වන මෙම කාලය දක්වාත්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් කිසිවෙකුගෙන් වත් නොයැපී ජීවත් වීමට තරම් සුවිසල්ය. එමෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් මෙලොව මනුෂ්‍යයෙකු හට ලැබිය හැකි ඉහලම නිල තනතුර වන ‛අපොස්තුළුවරය’ නැමති දිව්‍ය තනතුර තුළින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සත්‍ය ධර්මය ලොව පුරා නිදහස්ව නිවහල්ව විකාශනය කිරීමට ඒ ඔස්සේ හැකියාව ලැබී ඇත.අඩුම තරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ පැවැත්ම සඳහා කිසිවෙකුගෙන් එක බත් ඇටයක් හෝ නූල් කැබැල්ලක් තරම්වත් දෙයක් නොපතා, නොලබා, තම සුඛ විහරණයට තම දෙමාපියන්ගෙන් ලද අති මහත් වූ වස්තුසම්භාරය මත පමණක් යැපෙමින් දෙවියන් භාරදුන් කාර්යභාරය අකුරටම ඉෂ්ට කිරීමට හැකියාව ලැබී ඇත.

 

ජී.සී. අපොන්සු මැතිතුමා නොදැනුවත්ව හෝ දෙවියන්ගේ නියෝජිතයෙක් වන අපොස්තූළුතුමෙකුට මෙලොව තම කාර්යභාරය ඉටු කිරීම සඳහා ලබා දී ඇත්තේ අමිල පිටුවහලකි. එතුළින් එතුමන් සෙවූ නිවන සාක්ෂාත් කර ගැනීමට කලාවූ ඒ මහගු පින් කුසල් හා ඒවායේ අනුහස් හේතුවේවා යි මම ප්‍රාර්ථනා කරමි.

 

මෙලොවදී එතුමන් දෑත් ශක්තිමත් කළා වූ අද ලොව ජීවත්ව සිටින සහ අපගේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් කවුරුන්ද යන වගත්, එම ගුරුදේවෝත්තමයාණන් දේශනා කරන්නාවූ නිකැළැල් පිවිතුරු ධර්මයේ අවබෝධය ඔස්සේ ජී. සී. අපොන්සු මැතිතුමන්ට සදාතනික නිවන සාක්ෂාත් කරගැනීමට හැකිවේවා යැයි, එතුමන්ගේ 47 වෙනි ගුණානුස්මරණ සංවත්සරය වෙනුවෙන් මම නැවතත් ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.

 

සටහන – සශික විෂාන් – කටුනායක