ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ 63 වන ජන්ම දිනය යෙදී තිබුනේ 2020 පෙබ්‍රවාරි 2 වෙනි දිනයටයි. 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට උන්වහන්සේ මෙලොවට උපත ලබමින්, මේ මහා පෘතුවිය ස්පර්ෂ කරනු ලැබුවා.

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් උපත ලද ඒ මැදියම් රාත්‍රිය, ඒ පින්බර රාත්‍රිය, උන්වහන්සේ අදටත් ජීවමානව වැඩවසන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ගත කිරීම සදහා විවිධ ප්‍රදේශයන්ගෙන් උන්වහන්සේගේ අනුගාමිකයන් රැස්වන්නේ අවුරුදු ගණනාවක සිටයි. අවුරුදු පතා විවිධ නවාංගයන් එක් වෙමින් මේ අසිරිමත් මැදියම් රැය විචිත්‍රවත් වන්නේ පුංචි නත්තලක සිරිය සංකේතවත් කරමින් බව සදහන් කල යුතුමයි.

 

මෙම 2020 වසරේ පෙබ්‍රවාරි 1 වෙනි දින මැදියම් රැය ද, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පුංචි නත්තලක් වුනා. මැදියම් රැය නොතකා, මැදියම් රැයේ ගමන් අපහසුකම් නොතකා, පුංචි අත දරුවන් තුරුළු කර ගත් මව්වරුන්ගේ සිට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ටත් වඩා වයසින් වැඩි මහළු අය දක්වා වූ සැදැහැවතුන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමිය තුල රැස්ව සිටියේ කිසිවෙකුගේවත් බලකිරීමක් නිසා නොවේ. ඔවුන් සැමගේ හදවත් තුල, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් කෙරෙහි ලැගුම් ගෙන ඇති ආදරය නිසයි. ඒ ආදරයට හේතුව, ආදරයෙන් දහම කියා දී, ඔවුන්ව යහපත් මාර්ගයට ගත්තේත්, ගනු ලබමින් සිටින්නේත්, අවුරුදු 63 කට පෙර, පෙබ්‍රවාරි 1 වෙනි දා මැදියම් රාත්‍රියේ දී මෙලොවට උපත ලැබූ මේ අපොස්තුළුතුමාණන් නිසයි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මෙතෙක් මෙලොව ජීවත්ව සිටි අවුරුදු 63 ක් වන කාලයෙන්, තුනෙන් දෙකකටත් වඩා කාලයක් ‛‛අපොස්තුළු තුමෙකු’’ ලෙසින් මෙලොව ජීවත්ව තිබෙනවා. මේ ශුද්ධවු අපොස්තුළු තුමා මේ ලෝකයට ඉපදුන වේලාව, ලෙහෙසියෙන් පහසුවෙන්, ජනතාවට උන්වහන්සේ වෙත ලඟාවිය හැකි වේලාවක් නොවේ, මධ්‍යම රාත්‍රී 12 ටයි. පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12ටයි.

 

ලොව දිනයක් නිමවී, අලුත් දවසක් උදාවන මධ්‍යම රාත්‍රී 12ට උපත ලැබූ මේ ශුද්ධවු අපොස්තුළු තුමන් වාසය කරනු ලබන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත, මෙම වසරේදීත්, ජනතාව, ඇදී එන්නට පටන් ගත්තේ රාත්‍රී 10 පමණ සිටයි.

 

මධ්‍යම රාත්‍රී 12 ආසන්න වන විට සැදැහැවතුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ 63 වෙනි ජන්ම දිනය සමරා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත උන්වහන්සේගේ පිංතූරය අභියස, ‛63’ අංකය සංකේතවත් කරමින් පොල්තෙල් පහන් දල්වන්නට පටන් ගත්තා. අනතුරුව, සැදැහැවතුන්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා උත්පත්තිය ලැබූ නියමිතම වේලාව වූ මධ්‍යම රාත්‍රී 12 ට, උන්වහන්සේගේ පිංතූරය අභියස යාච්ඤා කරන්නට පටන් ගත්තා. මෙවැනි අපොස්තුළු තුමෙකුව ලබා දීම පිළිබඳව ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේට ද, නිර්මල කන්‍ය මරිය මාතාවන්ට ද ප්‍රශංසා කරමින් සැදැහැවතුන් ගීතිකා ගායනා කලා. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙනුවෙන් ම රචනා කල ගීතයන් ද ඔවුන් ගායනා කරනු ලැබුවේ, ඔවුන් ම රැගෙන එනු ලැබූ, ඔවුන්ගේ ම සංගීත භාණ්ඩයන් ද වාදනය කරමිනුයි.

 

මහ රාත්‍රියේ තම ගෙවල්වලට වී සුවසේ නිදා ගැනීම පසෙක තබා, සැදැහැවතුන් දුරමග ගෙවාගෙන, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ මෙසේ කරනු ලැබුවේ ඇයි?…… ආගම් භේදයකින් ද තොරවම ජනතාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාට ඇත්තටම ආදරය කරනවා. උන්වහන්සේ ද ජනතාවට බොහෝසේ ආදරය දක්වන අතරම, පියෙකු මෙන් ඔවුන්ට ආශිර්වාද කරමින්, යා යුතු නිවැරදි මග පෙන්වාදෙන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට ජනතාව දක්වන්නේ සුවිශේෂී ගෞරවයක්.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමිය වර්ණවත් විදුලි ආලෝක රටාවන්ගෙන් ආලෝකමත් කර තිබූ අතර, අවසානයේ, සැදැහැවතුන් විසින්ම සකසා රැගෙන ඇවිත් තිබුණ කිරිබත්, කේක් සහ විවිධ රස කැවිලි අනුභව කරමින් ඉතාමත් සුහද ලෙස සතුටු වුනා. තම ජීවිතයන්ට මග පෙන්වන, සිය අධ්‍යාත්මික නායකයාණන්ගේ පින්තූරය අභියස අවසානයේ වැද වැටී සිපාචාර කර සමුගත්තේ, පෙබ්‍රවාරි 2 වෙනි දින සවස උපන්දින සංවත්සර උත්සවයට ආපසු පැමිණීමේ බලාපොරොත්තුවෙනුයි.

 

2020 පෙබ්‍රවාරි 1 වෙනි දින මධ්‍යම රාත්‍රියේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්වූ සැදැහැවතුන්, මහත් ආදරයෙන් සහ භක්තියෙන් යුතුව, සිය අධ්‍යාත්මික නායකයාණන් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, වසර 63කට පෙර උපත ලැබූ මොහොත සමරණු ලබන අයුරු මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි