ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය මරණයට පෙර දින වූ උන්වහන්සේගේ අවසන් රාත්‍රිය පිළිබදව බොහෝ දේ ලොවට හෙළි කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ දිව්‍ය සත්ප්‍රසාදීක පිළිවෙත සිදු කිරීම සදහා එම රාත්‍රියේ දී ජේසුස් ස්වාමින් වහන්සේ අපොස්තුළුතුමන්ලා වෙත බලය පැවරූ අන්දම ද ඉතාමත් පැහැදිලිව විග්‍රහ කරමින් සිය දේශණය පවත්වනු ලැබුවේ 2018 මාර්තු 29 වෙනි මහ බ්‍රහස්පතින්දා දිනයේයි.

 

ජේසුස් ස්වාමින් වහන්සේගේ මරණයට පෙර දින උන්වහන්සේගේ අවසන් රාත්‍රී භෝජන පිළිවෙත සමරමින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී දිව්‍ය පූජාව පැවැත්වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, එදා පළමු මහ බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජේසුස් ස්වාමින් වහන්සේගේ අවසාන රාත්‍රී භෝජනයට සහභාගි වීමට අවස්ථාව නොලද, අපොස්තුළුතුමෙකු වන, ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමන් වෙත දිව්‍ය සත්ප්‍රසාදික පිළිවෙත සිදු කිරීම සදහා බලය පැවරුන අන්දම පැහැදිලි කරමින්, එලෙසින්ම ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබීම හේතුවෙන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ද, ජේසුස් ස්වාමින් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන පිළිවෙතට සහභාගි වීම සදහා අවස්ථාව නොලද අපොස්තූළුතුමෙකු වශයෙන් දිව්‍ය සත්ප්‍රසාදික පිළිවෙත සිදු කිරීම සදහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතින් ලබය ලැබීම පිළිබදව ඉතාමත් තර්කානුකූලව පැහැදිලි කරමින් මෙලෙසින් ප්‍රකාශ කල සේක.

 

අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට පෙර දින රාත්‍රිය උන්වහන්සේගේ මෙලෝ ජීවිතයේ මේ පෘථිවිය මත ජීවත් වුනු අවසාන රාත්‍රිය අද අපි සිහි කරනවා. ඉතින් මේ මොහොතේ අපි ජේසුස් ස්වාමින් වහන්සේ වෙත ලොකූ ගැඹුරු ආදරයකින්, ලොකු ආදරයෙන් පිරුනු විශ්වාසයකින්, භක්තියකින් රැස්වී සිටිනවා. මේ රාත්‍රිය අවුරුදු දෙදහසකටත් වැඩි කාලයකට පෙර ජේසුස් ස්වාමින් වහන්සේට උදාවු ඉතාමත්ම කඨුර රාත්‍රියක්. ඒවගේම මේ රාත්‍රිය හුඟක් හැගුම්බර රාත්‍රියක් වුනා. මේ රාත්‍රිය එදා උන්වහන්සේට හුඟක් වැදගත් වුනා වගේම උන්වහන්සේ තෝරාගත්තු අපොස්තුළුවරුන්ටත් ඉතාමත්ම වැදගත්, ඉතාමත් හැඟුම්බර රාත්‍රියක් වුනා. විශේෂකොට, ඒ අවසාන රාත්‍රියෙදි ජේසුස් වහන්සේ අපොස්තුළු තුමන්ලාට දුන්නාවු විශේෂ වරයක් තමයි දිව්‍ය සත්ප්‍රසාදීක පිළිවෙත පැවැත්වීමේ, ඒ කාලේ කිව්වේ පූප කැඩීමේ පිළිවෙත කියලා. මේ පූප කැඩීමේ පිළිවෙත ඉෂ්ඨ කිරීමේ පූර්ණ බලය ජේසුස් ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ මරණයට පෙර දින රාත්‍රියේ තමයි අපොස්තුළු තුමන්ලාට දුන්නේ. සියළුම අපොස්තුළුවරු එදා ජේසුස් ස්වාමින් වහන්සේගෙන් ඒ වරම, ඒ බලය ලැබුවා. එනම් දිව්‍ය සත්ප්‍රසාදීක පිළිවෙත ඉෂ්ඨ කිරීමේ බලය. මේ මොහොතේ යම් කෙනෙක් අහන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක්. ඔබවහන්සේ එදා ඒ අවසාන රාත්‍රී භෝජනය අවස්ථාවේ හිටපු අපොස්තුළු තුමෙක් නොවේ. එසේනම්, ඔබවහන්සේ කොහොමද මේ දිව්‍ය සත්ප්‍රසාදීක පිළිවෙත ඉෂ්ඨ කරන්නේ? ඔබවහන්සේ එදා ඒ අපොස්තුළු තුමන්ලා අතර හිටපු කෙනෙක් නෙවේ. දැන් ඔබවහන්සේ කිව්වා එදා අපොස්තුළු තුමන්ලාටයි මේ බලය පැවරුවේ. එතකොට කොහොමද ඔබවහන්සේ මේ රාත්‍රියේ මේ දිව්‍ය පූජාව, මේ සත්ප්‍රසාදීක පිළිවෙත පවත්වන්නේ? මේකට පිළිතුර මම දෙන්නේ නෑ. මේකට පිළිතුර දීලා තියෙනවා මට කලින් මේ අන්තීම රාත්‍රී භෝජනයට සහභාගි නොවූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වී තෝරා පත් කරපු පළවෙනි අපොස්තුළු තුමා. සමහර විට මේ පිළිතුර ඔහු ලියන්නට ඇත්තේ මෙවැනි ප්‍රශ්නයක් ඔහුගෙන්ද ඇසුවා විය හැකියි. ඇසුවා හෝ නෑසුවා ඒ ප්‍රශ්නය මගෙන් ඇහැව්වොත් මම කෙනෙකුට කියනවා මට කලින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වෙලා තෝරපු එදා අන්තිම රාත්‍රී භෝජනයට ජේසුස් ස්වාමින් වහන්සේත් එක්ක සහභාගි වෙච්ච අපොස්තුළු තුමන්ලා අතර නොසිටි ජේසුස් ස්වාමින් වහන්සේ පසුව දර්ශනය වෙලා තෝරපු ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළු තුමා කොරෙන්තිවරුන්ට ලිවූ පළවෙනි ලිපියේ, 11 වෙනි පරිච්ඡේදය කියවන්ඩ උත්තරේ තියෙනවා. ඒ උත්තරේ තමයි මගෙත් උත්තරේ. දැන් මම කියන්නම් ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළු තුමාගේ පිළිතුර. මේ පිළිතුරම තමයි මටත් දෙන්ඩ තියෙන්නේ. අහගන්ඩ ‛‛මා ඔබට ඉගැන්වූ මේ පිළිවෙත මා ස්වාමින් වහන්සේගෙන්ම ලැබුවෙමි. එනම් ස්වාමින් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියෙදි රොටියක් රැගෙන ස්තුති කොට කඩා, මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරයය. මා සිහි කිරීම පිණිස මෙය කරන්නැයි වදාළ සේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද රැගෙන, මේ කුසලාන මාගේ රුධීරයෙන් පිහිටුවන නව ගිවිසුමය. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නාහූද එපමණ වර මා සිහි කිරීම පිණිස මෙය කරන්නැයි වදාළ සේක. ඔබ යම් පමණ වර මේ රොටි අනුභව කරන්නහුද, මේ කුසලානෙන් පානය කරන්නහුද එපමණ වර ස්වාමින් වහන්සේ වඩිනතුරු ඔබ උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය.’’ එතකොට ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළු තුමා එදා ක්‍රිස්තුස් වහන්සේගේ අවසාන රාත්‍රී භෝජනයට අන් අපොස්තුළු තුමන්ලා සමග සහභාගි වුනු අපොස්තුළු තුමෙක් නොවෙයි. හේතුව ඔහුව ජේසුස් ස්වාමින් වහන්සේ පත් කරනු ලැබුවේ ජේසුස් ස්වාමින් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනයෙනුත් පසුව, මරණයෙනුත් පසුව, උත්ථානයෙනුත් පසුව, ස්වර්ගාරෝහණයෙනුත් පසුව මෙලොවට දර්ශනය වෙලා. ඊට පස්සේ අපොස්තුළු තුමෙක් නැතුව අවුරුදු දහස් ගාණක්, දහසකටත් වැඩි කාලයක් ගෙවුනා. ජීවත් වෙන ඔයගොල්ලෝ දැකලා තිබුනේ අපොස්තුළු තුමෙක් කිව්වහම ස්වර්ගේ ඉන්න දැන්නම් මැටි රූප, පින්තූර වලින් තමයි අපොස්තුළු තුමන්ලාව දැනගෙන, දැකගෙන හිටියේ. ඒ අතරේ තමයි පාරේ යන එන, කන බොන ඔයගොල්ලන්ට කථා කරන අපොස්තුළු තුමෙක්ව ලැබුනේ ජේසුස් ස්වාමින් වහන්සේ නැවත දර්ශනය වී පත් කළ නිසා. එතකොට මේ පාවුළු අපොස්තුළු තුමා ප්‍රකාශ කරන මේ වචන වලින් පැහැදිලි කරන්නේ කෙනෙකුට අපොස්තුළුවරය ලැබෙන විට ඒ අපොස්තුළුවරයත් සමග ඊට අයත් සියළු බලතල ලැබෙනවා. සියළු බලතල ලැබෙනවා. ඒ සියළු බලතල වලට අයිති එකක් තමයි මේ දිව්‍ය සත්ප්‍රසාදීක පිළිවෙත. මේ දිව්‍ය සත්ප්‍රසාදීක පිළිවෙත පැවැත්වීමේ, සිද්ධ කිරීමේ බලය. ඒ අනුව ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළු තුමත්, මමත් මේ සත්ප්‍රසාදීක පිළිවෙත කළෙත්, කරන්නෙත් කෙලින්ම එය දානය කළ යුතුම පුද්ගලයාගෙන්. එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ලැබූ බලතල හේතුකොටගෙනයි. මරිය තුමී දර්ශනය වෙලා කිසිම කෙනෙකුට අපොස්තුළුවරය දානය කරන්න බැහැ. මරිය තුමී කහ පාට රෝස මල් 123 ක් උඩ විසිතුන් වාරයක් නොවෙයි, මරිය තුමී කහ පාට රෝස මල් 123 ක් උඩ එකසිය විසිතුන් පාරක් දර්ශනය වුනත් මරිය තුමීට බෑ කෙනෙකුට මේ සත්ප්‍රසාදීක පිළිවෙත ඉෂ්ඨ කිරීමේ බලය එනම් අපොස්තුළුවරයේ බලය දානය කරන්න. මරිය තුමී කවදාක්වත් අපොස්තුළු තුමන්ලාව පත් කෙරුවේ නෑ. අපොස්තුළු තුමෙකුව පත් කරන්ඩ පුළුවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට විතරයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි ඒ අපොස්තුළුවරයේ බලතල දානය කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේ ජේසු තුමා දර්ශනය වී තෝරා පත් කරපු පාවුළු අපොස්තුළු තුමා තමන්ට ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වීම හේතුකොටගෙන, දර්ශනය වෙලා අපොස්තුළුවරයට පත් කිරීම හේතුකොටගෙන ලැබූ බලතල වලින් මම මේ පිළිවෙත ස්වාමින් වහන්සේගෙන් ලැබුවාය කියලා කියන්නේ. මේ පිළිතුරට වඩා ඉහල පිළිතුරක් හෝ මේ පිළිතුරට වඩා උසස් පිළිතුරක් හෝ දෙන්ඩ මට නෑ. මේ පිළිතුර හොඳ වෙලාවට මට කලින් එක්කෙනෙක් පත් කරලා තිබුනු නිසා ඒ කාලේ බයිබලය කියලා පොතක් ලියවී නොතිබුනු නිසා, පසු කාලෙක එවැන්නක් නිෂ්පාදනය වුනු නිසා පාවුළු අපොස්තුළු තුමා කොරෙන්තිවරුන්ට ලිවූ 1 වෙනි සංදේශය මේ බයිබලය තුලට ගිය නිසා මෙන්න බයිබලයෙන්ම පෙරලලා මම ඔබට ඒ විස්තරය දැන් කිව්වා. එසේ නොවන්ඩ මේ පිළිතුර මම දුන්නානම් ඒ පිළිතුර ඔයගොල්ලෝ කොයි විදිහට භාර ගනීද කියන්න මම දන්නේ නෑ. කෙනෙක් කියන්ඩ පුළුවන්, ‛‛නෑ ඒක දුන්නේ එදා මහ බ්‍රහස්පතින්දා. එදා පළවෙනියෙන්ම ජේසුස් ස්වාමින් වහන්සේ විසින්ම ඒ අපොස්තුළු තුමන්ලාට දානය කිරීම තුල පමණයි තියෙන්නේ කියලා කියන්ඩ පුළුවන්. තර්කයක් ගේන්ඩ පුළුවන්. අපේ මිනිස්සු එහෙමනේ. නමුත් දැන් මේක බයිබලේ අස්සට ගිහිල්ලා. දැන් ලෝකේ ඉන්න කුමන සභාවකට අයිති කිතුනුවෝ උනත් මේ පොත, මේ පොත පිළිගන්නවා. මේකේ තියෙන පොත් සංඛ්‍යාව එක කට්ටියක් කියනවා හැත්තැදෙකයි කියලා. තව කට්ටියක් කියනවා හැටඅටයි කියලා. ඒ පොත් වල අඩු වැඩි වශයෙන් මේ බයිබලය ලෝකේ පැතිරිලා තියෙනවා. නමුත් මේ කොරෙන්තිවරුන්ට ලිවු ලිපිය හැම බයිබලයකම තියෙනවා. ඒ නිසා හැම බයිබලයකම ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළු තුමා කොරෙන්තිවරුන්ට ලිවූ පළවෙනි සංදේශය සඳහන් වෙනවා, අඩංගු වෙනවා, ඇතුලත් වෙනවා. පැහැදිලියිද? එතකොට දැන් ඒ පැනයට පිළිතුර පැහැදිලියි. දැන් බැරි වෙලාක්වත් ජේසු තුමා මට දර්ශනය නොවුනනම්, අපි හිතමු බර්නදෙත්ට වගේ මරිය තුමී විතරයි දර්ශනය වුනේ. පාතිමාවේ වගේ මරිය තුමී විතරයි දර්ශනය වුනේ. අද මේ පූජාව මට තියන්ඩ බෑ. මට ඒකට ජේසු තුමාගෙන් අවශ්‍ය බලය ලැබිලා නැහැ එතකොට. ඒකයි මම කිව්වේ. මරිය තුමී විසිතුන් වතාවක් නෙමෙයි, එකසිය විසිතුන් වතාවක් දර්ශනය වුනත් මෙතෙන්ට ඇවිල්ලා පූපේ උඩට උස්සන්ඩ බෑ. ඒකට ජේසු තුමා දක්‍ෂුවම් කරනවා, සාප කරනවා මට. නමුත් අර අපොස්තුළුවරයේ බලතල උඩයි එය කළේ. ඊට කලින් ඒ ගැන පැහැදිලි කිරීම ඒ බලය මං වගේම ලබපු කෙනෙක් ලෝකේ හිටපු නිසා දැන් ඔබ ඊට සවන් දුන්නා.

 

2018 මාර්තු 29 වෙනි මහ බ්‍රහස්පතින්දා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් පවත්වනු ලැබූ දිව්‍ය පූජා මෙහෙයේ විවිධ අවස්ථාවන් මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකිවනු ඇත