නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ව එක් වරක්, දෙවරක්, තුන් වරක් නොව විසිතුන් වරක් තමන්ගේම දෑසින් දැක ගැනීමට පමණක් නොව, එතුමිය සමග සුහදව කතා කරමින් බොහෝමයක් දේ අසා දැනගැනීමට ද සුවිශේෂී අවස්ථාව ලැබුවෙක් තුල නිර්මල කන්‍ය මරියෝත්තමාවන් පිළිබදව අප කිසිවෙකුටවත් නැති අවබෝධයක් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවෙයි.

 

නිර්මල කන්‍ය මරියෝත්තමාවන් පිළිබදව එවැනි ශ්‍රෙෂ්ඨ අවබෝධයක් ලබා සිටින අයෙක් මේ ලෝකයේ කොතැනක හෝ සිටී නම්, ඒ සුවිශේෂී පුද්ගලයා වැඩ සිටින්නේ ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේයි. එතරම් මහිමයකට හිමිකම් ලැබුවේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝය.

 

මේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මරිය තුමිය පිළිබදව ලොව අන් කිසිවෙකුටවත් නැති අවබෝධයක් ඇතිව, මරිය තුමියට ලියනු ලැබූ යාච්ඤාවක් අද හාස්කම් යාච්ඤාවක් බවට පත් වී ඇති අතර ඒ ගැන අප පුදුම විය යුතු නොවෙයි. එසේ අප පුදුම විය යුතු නොවන්නේ, එම යාච්ඤාව නිකමට ලියන්නන් වාලේ ලියනු ලැබූ යාච්ඤාවක් නොව, මරිය තුමිය පිළිබදව මෙලොව කිසිවෙකුටවත් නැති පූර්ණ අවබෝධයකින් ලිවීම නිසා එම යාච්ඤාව මරිය තුමියට බොහෝ ප්‍රසන්න වීම හේතුවෙන්, ආගම් භේදයෙන් තොරව බොහෝ දෙනාට, තම නොවිසදුන බලාපොරොත්තු ඉටු කර ගැනීමට මරිය තුමියගේ ප්‍රාතිහාර්යයන් මගින් මග සැලසී ඇති යාච්ඤාවක් බවට පත් වී ඇති නිසාය.

 

දහසක් බලාපොරොත්තු ඇතිව සෙනසුරාදා සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්වන සැදැහැවතුන් ජාති ආගම් භේදයෙන් තොරව එකම හඩින් තම බලාපොරොත්තු ලිවූ ලිපි දෙව් මවුන් වෙත ඔසවාගෙන හාස්කම් යාච්ඤාව උච්චාරණය කරන්නේ, එය දෙව් මවුන්ට අද මහත් ප්‍රසන්න යාච්ඤාව බවට පත් වී එහි ප්‍රතිඵල අත් දකින්නට හැකි වී ඇති නිසයි. 2017 සැප්තැම්බර් 30 වෙනි සෙනසුරාදා සවස විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්වී හාස්කම් යාච්ඤාවට සහභාගි වෙමින් සිටින සැදැහැවතුන් මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි