මැදපෙරදිග විශාලතම කිතුණු සභාව වන කොප්ටික් ඕතඩොක්ස් සභාවේ නායකයාණන් ලෙස පත්වූ ශුද්ධෝත්තම අන්බා තවාඩ්‍රොස් පාප්තුමා වෙත, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා විසින් සුභ පැතුම් පණිවුඩයක් යවා ඇත.

 

‛‛ඉතාමත් දුෂ්කර කටුක කාලයක කොප්ටික් සභාවේ නායකයාණන් ලෙස ඔබ තුමා පත්වී ඇත. අභාවප්‍රාප්ත ශුද්ධෝත්තම තුන්වන ෂෙනොවුඩා පාප්තුමාගේ පාලනයෙන් පසුව ඔබගේ පත්වීම ඉජීප්තුව ඇතුළු ලොව පුරා විසිරී සිටින කොප්ටික් සභාවට අයත් ක්‍රිස්තියාණි බැතිමතුන්ට නව බලාපොරොත්තු ඇතිකරවන්නට සමත්වී ඇති බව මාගේ විශ්වාසයයි’’ ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සිය සුභ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත.

 

කොප්ටික් සභාවේ හිටපු නායකයාණන් වන ශුද්ධෝත්තම තුන්වන ෂෙනොවුඩා පාප්තුමා පසුගිය මාර්තු මාසයේදී අභාවප්‍රාප්ත වූ අතර, එම තැනගැනීමට දැන් පත්වී සිටින්නේ ශුද්ධෝත්තම අන්බා තවාඩ්‍රොස් පාප්තුමායි. පත්වීම සිදුවූයේ පසුගිය නොවැම්බර් 4 වෙනි දිනයි. ෂෙනොවුඩා පාප්තුමා දශක සතරකටත් වැඩි කාලයක් ලොව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත කොප්ටික් කිතුණුවන්ට නායකත්වය දෙන ලදී.

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා නව පාප්තුමන්ට යවා ඇති සුභ පැතුම් පණිවුඩයේ තව දුරටත් මෙසේද සඳහන්ව ඇත. ‛‛ලෝකයේ සියළුම කිතුණු සභාවන්ට අයත් ක්‍රිස්තියානි සැදැහැවතුන් තුල ඇතිවී තිබෙන විවිධ පිල් බෙදීම් අතහැර දැමීමට ආරම්භයක් ඇති කර ගැනීම මේ යුගයේ ප්‍රථම වගකීමයි. ඒ තුලින්ම ලොව සාමයට ලැබෙන පිටුවහල සුළුපටු නොවෙයි. මිනිසා විසින් මිනිසාවම පීඩාවට පත්කරන විවිධ භේද අතරට ආගම් භේදයන්ද ඇතිවී තිබීම ශෝකය උපදවන්නකි. මේ අතර, කිතුණුවන් අතර ද විවිධ ක්‍රිස්තියානි බෙදීම් ඇතිවී තිබීම, ක්‍රිස්තුස් වහන්සේව බෙදා ගැනීමට දරණ අසාර්ථක උත්සහයක් බඳුය.’’

 

ඉජීප්තුවේ පමණක් ලක්ෂ 180 ක් කොප්ටික් සභාවට අයත් ක්‍රිස්තියානි ජනතාවය. ශුද්ධෝත්තම අන්බා තවාඩ්‍රොස් පාප්තුමා ලබන නොවැම්බර් 18 වෙනි ඉරුදින කොප්ටික් සභාවේ නව පාප්තුමා ලෙස, කයිරෝහි, කොප්ටික් ආසන දෙව්මැඳුරේදී අභිෂේක ලැබීමට නියමිතය. අන්බා තවාඩ්‍රොස් පාප්තුමා කොප්ටික් සභාවට පත්වන 118 වෙනි පාප්තුමා වේ.

 

‛‛ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම කරුණාවෙන් සහ ආශිර්වාදයෙන් අපොස්තුළු තුමෙක් වන මා ඉතාමත් කරුණාවෙන් මෙහි සඳහන් කරන්නේ, කොප්ටික් සභාවේ කිතුණු සැදැහැවතුන් අතර මෙන්ම ලොව සියළු කිතුණුවන් අතර ද සාමය සමගිය ඇතිකරලීම සඳහා දායක වන්න. එය ක්‍රිස්තුස් වහන්සේගේ බලාපොරොත්තුවයි. ඔබ යටතට පත්වී සිටින කොප්ටික් සභාවේ සියළුම සැදැහැවතුන්ට සාමයේ සමයක් උදාකර දෙන්නට ද, ඔබගේ දේශයට සමගිය සහ සෞභාග්‍යය සඳහා කැපවන්නට ද ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි’’ යි ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා, අන්බා තවාඩ්‍රොස් පාප්තුමා වෙත යවනු ලැබූ සුභ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන අතර, ‛‛විශේෂයෙන් ඔබ දේශයේ ක්‍රිස්තියානි ජනතාවට සාමයේ සහ සමාදානයේ වතාවරණයක් ඇතිකරදීමට ඔබගේ ප්‍රමුඛ අවධානය යොමු වේවා’’ යි ද ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ප්‍රාර්ථනා කර ඇත.