නිර්මල කන්‍ය මරිය මාතාවන් ලබා දුන් දින පහක විශේෂ වරප්‍රසාද දායක දින පහෙන්, පස්වන දිනය වන්නේ ලබන සෙනසුරාදායි. අභිනව දර්ශණ දේවමන්දීරය තුල ලබන සෙනසුරාදා සවස 6 ට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය දානය කරන අතර, දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදයෙන් පසුව දර්ශණ දෙව්මැදුර පොදු ජනතාව සඳහා විවෘතව තැබෙනු ඇත.

 

අභිනව දර්ශණ දේව මන්දීරය තුල දී ඔබට බොහෝ අසිරිමත් ශුද්ධවූ සිහිවටන දැක ගැනීමට වාසනාව උදාවනු ඇත. මේ අලංකාර දර්ශණ දේව මන්දීරයේ ප්‍රධාන පූජාසනයට සමීපව දකුණු පසින්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට දර්ශණය වී අපොස්තුළුවරයට කැඳවනු ලැබූ ස්ථානය, පිහිටි පොළව මතුකරගෙන ආලෝකමත් කර ඇති අතර, ආරක්ෂිත වීදුරුවක් හරහා එම ස්ථානය දකින්නට පුළුවන්.

 

එපමනක් නොවෙයි, ඒ අසලින්ම ඇත්තේ නව දර්ශණ දේව මන්දීරයේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දිව්‍ය පූජාවන් ඔප්පු කරනු ලබන ප්‍රධාන පූජාසනයයි. එම පූජාසනය යටින්, වටිනා රන් මංජුසාවක තැන්පත් කර, වීදුරු ආවරණයකින් සුරක්ෂිතව ඇත්තේ, ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී පතුල් සටහන්ව ඇති සළුවයි. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින සවස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත අපොස්තුළුවරය දානය කරනු ලැබුවේ මෙම සළුව මත උන්වහන්සේගේ පාද තබාගෙනයි. ඒ සමගම උන්වහන්සේගේ පාදයන් ශ්‍රී වණ කැළැල් ද සමගින් එම සළුව මත ලාංඡනය වී ඇති අතර, ජේසුස් ස්වාමින් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් ද පසුව උන්වහන්සේගේ ශ්‍රී ශරීරය ස්පර්ෂවීමෙන් ලාංඡණයක් සටහන් වූ ලොව ප්‍රථම සළුව මෙයයි. මේ වන විට මෙම අසිරිමත් සළුව කීප අවස්ථාවකම ප්‍රසිද්ධියේ ප්‍රදර්ශණය කර ඇත. මෙම සළුව සතරවටින් දේව දූතයන් සතර දෙනකු, මේ ශ්‍රී පතුල් සළුවට නමස්කාර කරමින් සිටිනා ආකාරය නිමවා ඇත්තේ සම්පූර්ණ ලී කැටයමින්. මේ සියළු දේ ආරක්ෂිත වීදුරුවක් මගින්, දැඩි ආරක්ෂා සහිතව දර්ශණ දේව මන්දීරයේ තැන්පත් කර ඇති අතර, ලබන සෙනසුරාදා පමණක් මෙම ආරක්ෂිත වීදුරු ආවරණයේ සුදු පැහැති තිරය විවෘතව තබන අතර, ඒ තුලින් ශ්‍රී පතුල් සළුව තැන්පත් කර ඇති රන් මංජුසාව ඔබට දැකගත හැකිවනු ඇත.

 

දර්ශණ දේව මන්දීරය තුල විශාල බිතු සිතුවම් දෙකක් ඔබට දැකගත හැකියි. එක් බිතු සිතුවමකින් දැක්වෙන්නේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත ‛අති පූජනීය අපොස්තුළුවරය’ දානය කරනු ලබන අන්දමයි. අනික් බිතු සිතුවමින් දැක්වෙන්නේ, නිර්මල කන්‍ය මරිය මවු තුමිය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වන අන්දමයි.

 

මේ අලංකාර බිතු සිතුවම් දෙක මැදින් විශේෂ වීදුරු ආවරණයක් තුල රන් කරඩුවක තැන්පත් කර ඇති නියපොතු ස්වල්පයක් ද ඔබට දැකගත හැකියි. කාගේද මේ නියපොතු?

 

 

අපොස්තුළුවරය දානය කිරීම සඳහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින සවස ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වූ අවස්ථාවේ, අපොස්තුළුවරය දානය කිරීමෙන් පසුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී හස්තයන්හි සටහන් වී ඇති ශ්‍රී වණ කැලැල් තුලට, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ හස්තයේ ඇඟිල්ලක් දැමීමේ සුවිශේෂී මහිමය උන්වහන්සේට ලැබුණා. ඒ අවස්ථාවේ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා උන්වහන්සේගේ දකුණු හස්තයේ, මහපට ඇගිල්ල අසලින්ම ඇති ඇඟිල්ල, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී හස්තයන් යුගලටම දමනු ලැබුවා. එදා සිට එම ඇගිල්ලේ වැවෙන නියපොතු ඉවත නොදමා විශේෂ මංජුසාවක තැන්පත් කිරීමට ආරම්භ කල අතර, එම නියපොතු වලින් ස්වල්පයක්, මෙලෙස රන් කරක්‍ෂුවක බහා, දර්ශණ දෙව් මැඳුර තුල තැන්පත් කර ඇති අයුරු ඔබට දැකගත හැකියි. මෙම සිදුවීම අසන විට අපට මතකයට එන්නේ, ශුද්ධෝත්තම තෝමස් අපොස්තුළුතුමාවයි. ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී වණ කැලැල් තුලට ඇඟිල්ලක් දැමීමට වාසනාව ලද ප්‍රථම අපොස්තුළුතුමා වූයේ ශුද්ධෝත්තම තෝමස් අපොස්තුළුතුමයි. එම දුර්ලභ වාසනාව ලද දෙවන අපොස්තුළුතුමා වන්නේ, අදටත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවත්වන අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝයි.

 

මුළු ලෝකයටම ඇති එකම පූජනීය වස්තූන් ලෙසින්, මේ දර්ශණ දේව මන්දීරයේ ඇති බොහෝ දේ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා නිසා අපට දෙවිමහෝත්තමයාණන්ගෙන් ලැබුණ මිළ කල නොහැකි දේයි. මේ සියල්ලක් මෙන්ම, අපට ලැබුණ පන ඇති පූජනීය වස්තුවක් වූ, අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ද, මේ ලෝකයේ දැනට ජීවතුන් අතර සිටින එකම අපොස්තුළුතුමාණෝයි. උන්වහන්සේ ඇතුළු සියළු පූජනීය වස්තූන් රැකෙන අන්දමින් මෙම අති පූජනීය දර්ශණ දේව මන්දීරය ආරක්ෂා කර ගැනීමට, අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ මග පෙන්වීමෙන් සිද්ධස්ථාන පාලක මණ්ඩලය සෑම වෙහෙසක්ම දරණු ලබනවා.