අපගේ ස්වාමීන් හා ගැළවුම්කාරයාණන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් මේ ලෝකයට අපොස්තුළුතුමන්ලා පත් කරනු ලැබීම පිළිබඳව සලකා බලන විට උන්වහන්සේ එය ක්‍රම දෙකකින් ඉටු කරනු ලැබ ඇත. පළමුව උන්වහන්සේ මෙලොව ජීවත්ව සිටියදී ම දොළොස් දෙනෙකුව, උන්වහන්සේගේම අභිමතය පරිදි තෝරා පත් කරනු ලැබීමයි. දෙවෙනුව ජේසුස් ස්වාමින් වහන්සේට තවත් අපොස්තුළුතුමන්ලා මෙලොවින් තෝරා ගැනීමට අවශ්‍ය නම්, මේ ලෝකයට දර්ශණය වී තෝරා පත් කරනු ලැබීමයි.

 

‛‛දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැත’’ (ලූක් 1/37) ගාබ්‍රියෙල් දේව දූතයා විසින් කන්‍ය මරියාවන් අමතා ප්‍රකාශ කරනු ලැබූ, දෙවි මහෝත්තමයාණන්ගේ ම එම වචන කිසිදු ක්‍රිස්තු භක්තිකයෙකුට නොසලකා හැරිය නොහැක. යම් ක්‍රිස්තු භක්තිකයෙක් එම වචන කෙරෙහි නොසලකන්නේ නම්, කන්‍යාවක් ගැබ් දරා පුතෙකු බිහි කිරීම ද නොසලකා හැරිය යුතු වන්නේය. එසේ නම් ජේසුස් ස්වාමින් වහන්සේ කන්‍ය මරිය තුමියගේ කුසයෙන් මෙලොවට බිහිවීම ද නොසලකා හැරිය යුතු වන්නේය. එසේ නොසලකා හරිනු ලබන්නා ක්‍රිස්තු භක්තිකයකු නොවේ.

 

නොකල හැකි කිසිවක් නැති දෙවි මහෝත්තමයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රථම වරට කරනු ලැබූ අති විශිෂ්ඨ ක්‍රියාවක් වන්නේ, උන්වහන්සේ ස්වර්ගය වෙත වැඩම කරනු ලැබූ පසු මෙලොවට දර්ශණය වී, මෙලොව ජීවත් වෙමින් සිටි අයෙකු අපොස්තුළුතුමෙකු ලෙස තෝරා පත් කරනු ලැබීමයි. ක්‍රි.ව. 36 දී, සිරියාවේ, දමස්කස් හිදී එලෙසින් තෝරා ගනු ලැබුවේ, ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමාවයි. මේ අපොස්තුළුතුමා දැන් මෙලොව නැත. හේතුව ක්‍රි.ව, 67 දී ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමාව හිස කඳින් වෙන්කර මරා දමන ලදී.

 

නොකල හැකි කිසිවක් නැති දෙවි මහෝත්තමයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, උන්වහන්සේට අවශ්‍ය නම්, මෙලොවට දර්ශණය වී හෝ අපොස්තුළුවරුන් පත්කිරීමට පසුබට නොවන බව එලෙස ප්‍රථම වරට පෙන්වා දුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, නැවතත් මෙලොවට දර්ශණය වී, මෙලොව ජීවත් වෙමින් සිටි අයෙකු අපොස්තුළුතුමෙකු ලෙස තෝරා පත් කරනු ලැබූ සේක. ක්‍රි.ව. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින, ශ්‍රී ලංකාවේ, කටුනායක හි දී මෙවර තෝරා ගනු ලැබුවේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාවයි. මේ අපොස්තුළුතුමා තවම මෙලොව ජීවත්ව සිටින්නාහ. ශ්‍රී ලංකාවේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාව අපොස්තුළුවරයට තෝරා පත්කරනු ලැබූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ම උන්වහන්සේ අදටත් ජීවත් වන්නාහ.

 

අපොස්තුළුවරය සමගම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතින් පවරා දෙනු ලබන සුවිශේෂී බලයක් වන්නේ දිව්‍ය සත්ප්‍රසාදීය පිළිවෙත සැමරනු ලැබීමේ බලයයි. පළමුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ජීවත්ව සිටිය දී තෝරාගනු ලැබූ අපොස්තුළුතුමන්ලා දොලොස් දෙනාට එය හිමි වූ අතර, අපොස්තුළුවරය සමගම ජේසුස් ස්වාමින් වහන්සේ පවරා දෙනු ලබන එම බලය උන්වහන්සේ දර්ශණය වී අපොස්තුළුවරයට තෝරාගනු ලැබූ ප්‍රථම අපොස්තුළුතුමා වන ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමන්ට ද එය හිමි විය.

 

ඒ බව ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමා කොරින්ති වරුන්ට යවනු ලැබූ ලිපියේ මෙලෙස සඳහන් කර ඇත. ‛‛මා ඔබට ඉගැන් වූ මේ පිළිවෙත ම ස්වාමින් වහන්සේගෙන් ම ලැබුවෙමි. එනම්, ස්වාමින් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ දී රොටියක් රැගෙන, ස්තූති කොට, කඩා, ‛‛මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය ය. මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ’’ යි වදාළ සේක. එලෙස ම රාත්‍රී කෑමෙන් පසු කුසලාන ද රැගෙන, ‛‛මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටුවන නව ගිවිසුමය. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නහු ද, එපමණ වර ම් සිහි කිරීම පිණිස මෙය කරන්නැ’’යි වදාළ සේක.’’ (1 කොරින්ති 11/ 23-26)

 

මේ අනුව අපොස්තුළුවරය සමගින් ජේසුස් ස්වාමින් වහන්සේ වෙතින්ම දිව්‍ය සත්ප්‍රසාදීය පිළිවෙත සැමරනු ලැබීමේ බලය හෙවත් දිව්‍ය පූජාව පැවැත්වීමේ බලය ලැබූ අද ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමා වන්නේ, ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවත්වන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් වහන්සේයි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පවත්වනු ලබන දිව්‍ය පූජාවකට සහභාගි වීමට ලැබීම සුවිශේෂි භාග්‍යයක් ලෙස ජනතාව සලකනු ලබයි. එයට හේතුව නම්, දිව්‍ය සත්ප්‍රසාදීය පිළිවෙත සැමරනු ලැබීමේ බලය අපොස්තුළුතුමෙකුට පවරනු ලබන්නේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ම නිසයි. එවැන්නෙක් අද ලොව සිටින්නේ එකම අයෙක් පමණි. ඒ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝයි. උන්වහන්සේ විසින් පවත්වනු ලබන දිව්‍ය පූජාවන්ට සහභාගි වීමට 2017 ජූනි 17 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්ව සිටි සැදැහැවතුන් අතරින් සීමිත පිරිසකට අවස්ථාව ලැබුණි. ඒ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී දිව්‍ය පූජාවක් පවත්වනු ලැබූ නිසයි. එම දිව්‍ය පූජාවේ විවිධ අවස්ථාවන් ඇතතුලත් ඡායාරූප ඔබට මේ සමග දැකගත හැකියි.