මේ ලෝකයේ ජීවත් වෙමින් සිටිය දී ම අති භාග්‍යවත් කන්‍ය මරිය තුමිය තමන්ගේම දෑසින් දැක ගැනීමට සුවිශේෂී භාග්‍ය ලැබූවන් අතරට 1975 දී එක්වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා වන්නේ, අදටත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවත් වන සැට වියැති ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝයි. උන්වහන්සේ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින නිර්මල කන්‍ය මරිය තුමිය තම දෑසින් දැක ගැනීමේ වාසනාව ලැබූහ. මේ වන විට උන්වහන්සේ නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් දැකගෙන ඇති අතර, එතුමිය වෙතින් ලබා ඇති පණිවිඩයන් ද රාශියකි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා හැරුන කොට, මෙලොව ජීවත්ව සිටිය දී නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැක ගැනීමට වාසනාව ලැබූ කිසිවෙකුවත් තමන් දුටු දෙව් මවුන් වෙනුවෙන් එකම යාච්ඤාවක්වත් ලියා නැත. එහෙත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නිර්මල කන්‍ය මරිය මෑණියන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා සමරණ මංගල්‍යයන් වල දී සහභාගිවන ජනතාව වෙනුවෙන් විවිධ යාච්ඤා බොහෝ සංඛ්‍යාවක් ලියා උච්චාරණය කර ඇත.

 

මේ අතර 2012 අගොස්තු මාසයේ දී ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විසින් අමුතුම ආකාරයක යාච්ඤාවක් නිර්මල කන්‍ය මරිය තුමිය වෙත ලියනු ලැබූහ. ජාති ආගම් භේදයෙන් තොරව, නිර්මල මරිය මවගේ පිහිට සරණය කරුණාව පතන සියළු ජනයාට, එතුමිය දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී උච්චාරණය කල හැකි පරිදි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ලිවූ යාච්ඤාව 2012 සැප්තැම්බර් 8 වෙනි දින ප්‍රථම වරට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී උච්චාරණය කරන ලදී. පුදුමයකි, යාච්ඤාව උච්චාරණය කරනු ලැබූ දිනයේ ම ඊට සභබාගි වූ බැතිමතුන් රැසක් ම දෙව් මවුන් වෙතින් ඉල්ලූ දේ ලබා ගත්හ.

 

ඉන්පසු නැවතත් මෙම යාච්ඤාව උච්චාරණය කරනු ලැබුවේ. වසර පහකට පසුව 2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවසයි. එදින ද මෙම යාච්ඤාව මගින් සැදැහැවතුන් මහත් වරප්‍රාද ලබා ගත් අතර, එදා සිට දැන් සෑම සෙනසුරාදාවකම සවස 6 ට, සැදැහැවතුන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට එක්වී, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ලිවූ මෙම යාච්ඤාව එකම හඬින් උච්චාරණය කරනු ලබයි. සතිපතාම ජනතාව ලබාගන්නා පිහිට වරප්‍රසාදයන් අප සිද්ධස්ථානයට වාර්තා වන අතර, මේ වාර්තාවන පුදුමාකාර පිහිට පිළිබද විස්තර ලේඛණ ගත කිරීමට වෙනම ම නිලධාරියකු ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විසින් පත්කර ඇත.

 

මෙම යාච්ඤාව අද වන විට නිර්මල මරිය තුමිය වෙත කියනු ලබන ‛හාස්කම් යාච්ඤාව’ ලෙසින් ප්‍රචලිත වී ඇති අතර, 2017 අගොස්තු 12 වෙනි සෙනසුරාදා සවස 6 ට මෙම හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම සදහා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්ව සිටි සැදැහැවතුන්ට මෙම හාස්කම් යාච්ඤාව ලිවූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ව දැක ගැනීමට ද අවස්ථාව ලැබුනේ එදින උන්වහන්සේ සැදැහැවතුන් අතරට පැමිණි නිසාවෙනි.

 

එදින ශුද්ධෝත්තම අපොස්තුළුතුමා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට රැස්ව සිටි සැදැහැවතුන් පිරිසක් අමතමින් ‛‛හාස්කම් යාච්ඤාව මගින් ජනතාව පිහිට ලබනවා දැකීම මට ලොකු සතුටක්, හේතුව මෙම යාච්ඤාව ලිව්වේ මමයි’’ යනුවෙන් ප්‍රකාශ කල සේක. මෙම හාස්කම් යාච්ඤාව මේ තරම් දුරදිග යාවි යයි උන්වහන්සේ නොසිතූ බව ද ප්‍රකාශ කල අතර, තවත් ප්‍රභල හාස්කම් යාව්ඤාවක් උන්වහන්සේ ලියන බව ද, එය උන්වහන්සේගේ මෙම ජීවිතයේ, උන්වහන්සේ දේව මෑණියන්ට ලියන අවසාන යාච්ඤාව බව ද ප්‍රකාශ කල සේක.

 

තම සුරතින් ලිවූ හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමෙන් ජනතාව පිහිට ලබනවා දැකීමෙන් ඇත්තටම බොහෝ සතුටු වන්නේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝයි. 2017 අගොස්තු 12 වෙනි සෙනසුරාදා සවස එම යාච්ඤාව උච්චාරණය කිරීමට පැමිණ සිටි සැදැහැවතුන් අතරට පැමිණ ඒ බව ප්‍රකාශ කර, උන්වහන්සේ ආපසු යන විට සැදැහැ ජනතාව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත පැමිණ, මරිය තුමිය මහත්සේ ප්‍රසන්න වී බහුල ආසිරි වස්වාලන මෙතරම් බලසම්පන්න හාස්කම් යාච්ඤාවක් ලිවූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සුරත වැළදගෙන සිපගත් අන්දම ද, උන්වහන්සේ සැදැහැවතුන් ඇමතූ අන්දම ද මෙම ජායාරූප මගින් ඔබට දැකගත හැකිවනු ඇත