අපොස්තුළුතුමෙකුට ආගම් භේදයක් නැහැ. සභා භේදයක් ද අපොස්තුළුතුමෙකුට නැහැ. අපොස්තුළුතුමෙක් යනු සියළු ජනතාවට පොදු කෙනෙක්. ඒ නිසාම අපොස්තුළුතුමෙක් යනු, ආගමීක නායකයෙක් නොවෙයි, අපොස්තුළුතුමෙක් යනු අධ්‍යාත්මීක නායකයෙක්. මිනිසාගේ අධ්‍යාත්මය යහපත් දෙයින් පොහොණි කිරීම පමණයි අපොස්තුළුතුමෙකුගේ වගකීම වන්නේ. ඒ නිසාම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දහම් දෙසුම් ද යොමුවන්නේ, ජනතාව අයහපතින් යහපත වෙත යොමු කරවීමටයි. 2017 නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජා මෙහෙයේ දී උන්වහන්සේ ජනතාව අමතා පැවසූ කරුණු වලින් ද ඒ බව පැහැදිලි විය. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ජනතාවට කියා සිටියේ කිසිවෙකුට අයහපතක් නොපතන ලෙසත්, යමෙකුට විපත්තියක් වූ විට එය විනිශ්චය නොකරන ලෙසත් ය. උන්වහන්සේ සිය නව අවුරුදු දේශණයේ දී එලෙස ඉල්ලා සිටියේ මෙසේයි.

 

‛‛වෛරය කියන දේ, ඔය ක්‍රෝධය කියන දේ ඔය ඔබව කෙලෙසන ඔය දේ තියෙනතුරු ක්‍රිස්තුස් වහන්සේ කිව්ව විදිහට සතුරාටත් ප්‍රේම කිරීමේ න්‍යායෙන් ඔයගොල්ලෝ එහෙම් පිටින්ම අයින් වෙනවා. ඒ නිසා මාගේ ප්‍රේමවන්ත, පිංවත් දූ පුතුනී, මේ ලස්සන අළුයම අළුත් අවුරුද්දක් ආරම්භ කරපු මේ අළුයම මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා ඔයගොල්ලෝ මීට පස්සේ පළවෙනියෙන්ම කිසිම කෙනෙකුට අයහපතක් පතන්ඩ එපා. වැඩක් නැහැනේ කෙනෙකුට අයහපතක් වුනා කියලා. කෙනෙකුට විපත්තියක් වුනාම ඒක විනිශ්චය කරන්ඩ එපා. මේ අහවල් දේ නිසා තමයි ඌට එහෙම වුනේ. අරයට අහවල් දේ කරපු නිසා තමයි අරකිට එහෙම වුනේ. එදා මට කිව්ව දේට තමයි ඕකට ඔහොම වුනේ. කවදාක්වත් කියන්ඩ එපා. කවදාක්වත් කියන්ඩ එපා. ඕක කරන්ඩ එපා. ඕක පව්. ඕක විනිශ්චය කරන්ඩ එපා.

 

කෙනෙකුට විපත්තියක් වුනොත් ‛අනේ පව්’ කියලා කියන්ඩ බැරිද? එහෙම හිතෙන්නැද්ද? ඒ දේ ඔබට උනානම්. ඔබේ මවට, පියාට, සහෝදරයට, ඔබේ දරුවට වුනානම් කියන දේ ඒ වෙනුවෙන් හිතන්ඩ බැරිද? එහෙම කියන්ඩ බැරිද? අන්න ඒ තත්වෙට හිත දියුණු කරගත්තොත් අන්න ඔබ ස්වර්ගයට යා හැකි මට්ටමට ක්‍රමක්‍රමයෙන් ඔබේ හිත ගේනවා. ඔබ දිව්‍ය පූජාවල් 500 ක් ඇසුවත් ඒක ස්වර්ගයට යන්ඩ හේතුවක් නෙමේ. එය ඔබගේ ජීවිතේට පිටකවරයක් විතරයි. පොතට දාන පිටකවරයක් විතරයි. ඔබගේ සිතින්, ඔබේ ක්‍රියාවෙන්, ඔබේ වචනයෙන්, කරන, කියන කටයුතු වලින් තමයි ඔබව විනිශ්වය කරන්නේ. අන්න එයට එක උදව්වක් හැටියට තමයි මම කිව්වේ, කවදාක්වත් කිසිම කෙනෙකුට සාප කරන්ඩ එපා. කිසිම කෙනෙක් වෙනුවෙන් දඩුවම් පතන්ඩ එපා හිතෙන්වත්, දෙවියන්ගෙන්වත්. කිසිම කෙනෙකුට අයහපතක් වුනාම ඒ අයහපතට හේතුව විනිශ්චය කරන්ඩ එපා. අපි මැරෙනවා. අපි මැරෙනවා. මෙතන ඉන්න සමහර අය දැනට ජීවත් වෙලා තියෙන අවුරුදු ගාණත් එක්ක බලද්දි, ඒ හා සමාන තව අවුරුදු ගාණක් ජීවත් වෙන්නේ නෑ කියන එක ස්ථීරමයි නේද?. ගිය අවුරුද්දේ 2016 අළුත් අවුරුද්දක්, නැවුම් වර්ෂයක් කියලා පිළිගත්තු අයගෙන් කී දෙනෙක් අද පොළොවට පස් වෙලාද? මේ අපේ ශරීර මොනවද? එක්කෝ පස්, නැත්නම් අළු. හොඳට කල්පනා කරන්න. මේ අපේ ශරීර එක්කෝ පස්, නැත්නම් අළු. ඔය දෙකෙන් එකක්. ඒ කාලසීමාව තුල ඔයගොල්ලෝ මේ සිද්ධස්ථානෙට පැමිණෙන දරුවන් හැටියට ඔයගොල්ලෝ මේ කෙලෙස් වලින් එකින් එක අයින් වෙන්න. මේ එකක් විතරයි කිව්වේ. එහෙමනම් කවදාක්වත් කිසිම කෙනෙකුට අයහපතක් පතන්ඩත් එපා. අයහපතක් කරන්ඩත් එපා.’’

 

මේ ඡායාරූප මගින් ඔබට දැක ගත හැක්කේ, 2017 නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජා මෙහෙය අවසානයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා රැස්ව සිටි සැමටම නව අවුරුදු සුභ පැතුම් සමග සිය අපොස්තලික ආශිර්වාදය දානය කරනු ලැබූ අවස්ථාවයි