ලෝකයට වටිනා පුද්ගලයන් පහලවන්නේ නිතරම නොවෙයි, කලාතුරකිනුයි. ලෝකයේ ජීවත්වන නොවටිනා පුද්ගලයන් අතරට වටිනා පුද්ගලයන් පැමිණි විට සිදුවන්නේ ඒ නොවටිනා පුද්ගලයන්ට වටිනා පුද්ගලයන්ව හදුනා ගැනීමට නොලැබීමයි. ගල් කැට අතරින්, මැණික් කැට හදුනා ගැනීමට වාසනාවක් තියෙන්නට ඕන බවක් මිනිසුන් කියයි. ඒ ලෙසින්ම නොවටිනා මිනිසුන් අතරේ, වටිනා මිනිසෙක්ව හදුනා ගැනීමටත් වාසනාවක් තිබිය යුතුයි. ඒ වාසනාව පිනක් ම විය යුතුයි.

 

මේ ලෝකයේ ජීවත් වූ ඉතාමත් පින්බර අධ්‍යාත්මික නායකයෙක් ලෙස මේ වන විට සුපතල කීර්තියක් දරා සිටින අපවත් වී වදාල අභිධජ මහා රට්ඨගුරු, අග්ග මහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය සඟරජ හිමිපානන් වහන්සේ වාසනාවන්ත පින්වත් සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස අදටත් ජනතාව සිහිපත් කරනවා. එවැනි වාසනාවන්ත පින්වත් සංඝ පීතෘන් වහන්සේ නමකට හැකියාව තිබුණා, තවත් ශ්‍රෙෂ්ඨ අධ්‍යාත්මික නායකයකුව නිවැරදිව හදුනා ගන්නට. ඒ තවමත් අප අතර ජීවත් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්වයි.

 

මා එසේ සදහන් කරන්නේ අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය සඟරජ හිමිපානන් වහන්සේ විසින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් සම්බන්ධව ලියා ඇති විවිධ සටහන් අතරින්, මේ දිනවල මගේ මතකයට නැගුන එක් සටහනක් නිසයි. එම සටහන මෙයයි. ‛‛පළමු වරට අප හමු වුණේ ජූලි 19 වෙනි දාය. ඇතුළාන්තය වැඩි දියුණු කරගැනීමේ කාරණාවන් අවබෝධ කර ගැනීම පිළිබඳව අපගේ සංවාදයෙන් පසු, ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා අධ්‍යාත්මිකභාවය වැඩි දියුණු කරගෙන සිටින බව දැනගැනීමෙන් මම මහත් ප්‍රීතියට පත් වීමි. ලලිත් අපොන්සු පියතුමා තවදුරටත් උතුම් අධ්‍යාත්මික බලයක් ලබන බවට මම විශ්වාස කරමි. ඒ වගේම එතුමා උතුම් ගුරුවරයෙකු ලෙසට නුදුරු අනාගතයේ දී මුළු ලොවටම අති මහත් සේවයක් කරණු ඇතැයි මගේ බලාපොරොත්තුව මෙන්ම නිගමනයයි.’’

 

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන් 1991 ජූලි 19 වෙනි දින උන්වහන්සේගේ ම අත්අකුරින් ලියා ඇති මේ සටහන මට දකින්නට ලැබුනේ, අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා විසින් රචිත, ‛‛ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් පිළිබඳව බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන්ගේ අදහස්’’ නැමැති ග්‍රන්ථයෙනුයි.

 

බළන්ගොඩ මහා නායක මාහිමිපාණන්ගේ මෙම සටහන මට මතක් වූ වාරයන් බොහෝමයි. සත්තකින්ම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා උතුම් ගුරුවරයෙක්. මුළු ලොවටම හිමි වන උන්වහන්සේගේ ඉගැන්වීම් වලින් නිසි නියම ප්‍රයෝජනය ගැනීමට බොහෝම දෙනෙකුට පිනක් නැතිකම ගැන මගේ හිතට ඇති වන්නේ දුකක්. ඒත් මම මොනවා කරන්නද?

 

මේ දිනවල කොරෝනා වෛරසය මිනිසාව ලුහු බදින්නේ රකුසෙක් වගෙයි. අන්න ඒ නිසාම පසුගිය 2019 වසරේ අගෝස්තු මාසයේ සිට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අපට ඉගැන් වූ දේවල් මට මතක් වෙනවා. උන්වහන්සේට සවන් දුන් පිනක් ඇති බැතිමතුන්ට ද මතක් වෙනවා ඇති.

 

සෑම මාසයකටම වරක් උන්වහන්සේගේ බැතිමතුන්ගේ මාසික රැස්වීම පැවැත්වෙනවා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පැවැත්වෙන මෙම රැස්වීමට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ද පැමිණෙනවා. පසුගිය 2019 වසර මැද භාගයේ සිට, මෙම රැස්වීම්වල දී උන්වහන්සේ බැතිමතුන් වෙනුවෙන් ‛සෞඛ්‍ය පාඩම’ යනුවෙන් උන්වහන්සේම හැදින්වූ පුංචි කතාවක් මගින් අපට උපදෙස් රාශියක් ලබා දුන්නා. අපට ජීවත් වීමට ඇති එකම ස්ථානය අපගේ ශරීරය බැවින්, තම ශරීරය හොදින් රැකබලා ගැනීම තම තමාගේ වගකීම බව පැවසූ උන්වහන්සේ, ඒ සදහා අපට මග පෙන්වූයේ සැබවින් ම උතුම් ගුරුවරයෙක් ලෙසටයි, දයාබර පියෙක් ලෙසටයි.

 

අපගේ යහපත් ශරීර සෞඛ්‍ය වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මාසිකව පැවසූ දේ මම පොතක සටහන් කලා. ඒවා මතකයට එන කාලයකුයි දැන් උදාවී තිබෙන්නේ. ඒවායින් ස්වල්පයක් මම සදහන් කරන්නම්.

 

2019 අගෝස්තු 25 වෙනි ඉරුදින සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අපට උගැන්වූයේ ජලය පානය කිරීමේ වැදගත්කමයි. දිනකට ජලය ලීටර් තුනත් හතරත් අතර ප්‍රමාණයක් පානය කරන ලෙස පැවසූ උන්වහන්සේ කඩවල සහ සුපිරි වෙළදසල්වල විකිණීමට ඇති බොතල් කල ජලය, පානය කිරීමෙන් වැලකී ගෙදරදී ම උණුකර නිවාගත් ජලය පමණක් පානය කිරීමේ වැදගත්කම දීර්ඝව විස්තර කරනු ලැබුවා.

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා 2019 සැප්තැම්බර් 29 වෙනි ඉරුදින සවස විවිධ කඩවලින් සහ විවිධ රෙස්ටුරන්ට්වලින් දෛනික ආහාර ගැනීමේ ආදීනව පෙන්වා දෙමින් විනාඩි 30ක පමණ කාලයක් ඒ පිළිබදව විවිධ විස්තර ප්‍රකාශ කල අතර ගෙදර හදන පොල් සම්බෝලයයි බතුයි ශරීරයට ගුණවත් බව පැහැදිලි කලා. ඇතැම් ප්‍රසිද්ධ ස්ථාන කීපයක් නමින්ම සදහන් කරමින් කිසි දිනක ඒවායින් ආහාර නොගන්නා ලෙසට අවවාද කරනු ලැබුවේ, ඒවායේ සිදුවන ආහාර සැකසීමේ ක්‍රියාවලිය ද හෙලි කරමිනුයි.

 

ස්මාර්ට් ජංගම දුරකතනයේ අනිසි ප්‍රතිඵල පෙන්වා දෙමින් 2019 නොවැම්බර් 24 වෙනි ඉරුදින සවස කරුණු පැහැදිලි කල ශුද්ධෝත්තම අපොස්තුළුතුමා රාත්‍රියේ නින්දට යන විට බොහෝ වේලාවක් නිදි වර්ජිතව ජංගම දුරකතනයේ චිත්‍රපට නරඹමින් කාලය ගත කිරීමේ භයානකකම පෙන්වා දෙමින් කියා සිටියේ එමගින් ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවන බවයි.

 

2019 දෙසැම්බර් 28 වෙනි ඉරුදින සවස ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අපට පැහැදිලි කරනු ලැබුවේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉතා හොදින් පවත්වා ගැනීමේ වැදගත් කමයි. හදිසියේ වෛරසයකට හෝ විෂබීජයකට හෝ මුහුණ දීමට සිදුවූව හොත් ශරීරයේ උසස් ප්‍රතිශක්තියක් නොමැතිනම් ඉතාමත් දරුණු තත්වයක් ඇතිවන බැවින් සතිපතා පස්පංගුව නැමැති ආයුර්වේද බෙහෙත සහ වෙනිවැල්ගැට තම්බා පානය කරන ලෙස ද, ඒවා ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන වස විසක් නැති ඉතා හොද පානයන් බවත් පැහැදිලි කලා. විස සහිත කෘතිම රසකාරක සහ තවත් බොහෝ දේ නිසා අද ලෝකයේ ජීවත්වන බොහෝ මිනිසුන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවී ඇති බවත්, ප්‍රතිශක්තිය වුවමනාකරන හදිසි තත්වයක් ඇතිවූවහොත්, ඒ වෙලාවට මේ පස්පංගුව සහ වෙනිවැල්ගැට වැනි හෙළ ඔසු වර්ග පානය කිරීමෙන් ඵලක් නොවන බවත් පවසා කල්වේලා ඇතිවම මෙම හෙළ ඔසු පානය කරන ලෙස දීර්ඝව කරුණු පැහැදිලි කරනු ලැබුවා.

 

තවත් දිනක් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පලතුරු පිළිබදවද කරුණු පවසනු ලැබුවා. ඒ 2020 පෙබ්‍රවාරි 23 වෙනි ඉරුදින සවසයි. විවිධ සුපිරි වෙළදසල්වල ඇති විෂ රසායන ඉසින ලද පළතුරු කෑමට ගැනීමෙන් අප ශරීරය තුල අවයව ක්‍රමයෙන් විනාශවන බවත්, ප්‍රතිශක්තිය ද අඩු වීමෙන් ශරීරයට සිදුවන හානිය වැටහෙන විට අප ප්‍රමාද වැඩි බවත් විනාඩි හතලිහක් පමණ කරුණු පැහැදිලි කලා. අප ශ්‍රී ලංකා පොළවේ සරුවට වැවෙන නෙල්ලි, වෙරළු, ජම්බු, වරකා, පේර ආදී පළතුරු අද බොහෝ දෙනෙකුට අමතක බව පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ඒවා ශරීරයට ඉතා ගුණ පළතුරු බැවින්, එවැනි වස විසෙන් තොර පළතුරු අනුභවයට යොමුවන ලෙස ඉල්ලා සිටියේ වස විස පළතුරු නිසා ශරීරයේ ප්‍රතිශක්තිය ද විනාශ වී පසුව දුක් වීමට සිදුවන බව ද පෙන්වා දෙමිනුයි. එදින තවත් විශේෂත්වයක් වූයේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ වැඩුන කෙසෙල් ගසක පළමුවෙනි කෙසෙල් කැන එදින කපා එහි කෙසෙල් ගෙඩි, රැස්වීමට පැමිණ සිටි බැතිමතුන්ට බෙදා දීමයි. ‛‛ඔයගොල්ලන්ට භය නැතිව කන්න පුළුවන්. මේ කෙසෙල්වලට කිසිම බෙහෙතක් හෝ කෘතිම පොහොරක් යොදා නැහැ’’ යයි පවසන්නට ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අමතක කලේ නැහැ.

 

අපගේ ශරීරය උසස් ප්‍රතිශක්තිකරණයක් ඇතිව, නිරෝගීව පවත්වා ගැනීම සදහා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අපට දී ඇති උපදෙස් බොහෝමයි. ඒවායින් ඉතාමත් ඉතාමත් ඉතාමත් ස්වල්පයක් පමණයි මම මෙහි සදහන් කරනු ලැබුවේ. එසේ කරනු ලැබුවේත් මේ දිනවල ඇතිවී තිබෙන තත්වය නිසයි, අන් කවරදාටත් වඩා ශරීර ප්‍රතිශක්තිය පිළිබදව බොහෝ දෙනෙක් කලබල වී ඇති නිසයි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අපගේ මරණයට පෙර මෙලොව ජීවිතයටත්, මරණයෙන් පසුව එලොව ජීවිතයටත් විශ්වාසනීය ලෙස මග පෙන්වන අධ්‍යාත්මික නායකයෙක්. සෙනෙහෙබර පියෙක්. මේ අධ්‍යාත්මික ගුරුතුමාව හදුනාගෙන උන්වහන්සේගෙන් ධර්මය ඇසීමට පිනක් ම තිබිය යුතුයි.

 

මේ ශ්‍රී ලංකාවේ ජීවත් වූ අභිධජ මහා රට්ඨගුරු, අග්ග මහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය සඟරජ හිමිපානන් වහන්සේ වාසනාවන්ත පින්වත් සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස අදටත් ජනතාව සිහිපත් කරන බව මේ ලිපිය මුලදී ම මම සදහන් කලා. බලන්ගොඩ මහා නායක මාහිමිපාණන්ගේ ඒ බලවත් පින්වන්තකම නිසාම අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ඇතුලාන්ත අධ්‍යාත්මික ශක්තිය නිවැරදිව හදුනා ගත්තා. ශ්‍රී ලංකා බුද්ධ ශාසන ඉතිහාසයේ අද දක්වාම ‛‛අභිධජ මහා රට්ඨගුරු’’ නමැති අති පූජනීය ගෞරව සම්මානයෙන් පිදුම් ලද එකම සංඝ පීතෘන් වහන්සේ නම්, බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය සඟරජ හිමිපානන් වහන්සේයි. මියන්මාර් රාජ්‍යයෙන් පිරිනමනු ලබන මේ මහා සම්මානය ප්‍රධානය කරනු ලබන්නේ, එරට රාජ්‍ය නායකයා විසින් යම් රටකටම ගුරුතුමා ලෙස සැලකිය හැකි සංඝ පීතෘන් වහන්සේ නමකටයි. ‛‛රට්ඨගුරු’’ වචනයේ තේරුම එයයි. අද වන තුරුත් ඊට සුදුසු එකම සංඝ පීතෘන් වහන්සේ වන්නේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය සඟරජ හිමිපානන් වහන්සේයි. එවන් උතුම් පූජනීය ගුරුතුමෙකුටම තමයි, තවත් අධ්‍යාත්මික ගුරුතුමෙකුව නිවැරදිව හදුනා ගත හැක්කේ. නැත්නම් අප වැනි සාමාන්‍ය කෙලෙස් සහිත පුද්ගලයෙකුට නම් කිසිදා නොහැකියි. ඒ නිසා තමයි අප වැනි පෘතග්ජන පුද්ගලයන්ට, අධ්‍යාත්මික නායකයකු හදුනාගෙන දහම් ඇසීමට පිනක් ම තිබිය යුතුයයි මම සදහන් කලේ.

 

රට්ඨගුරු නම්වු අති පූජනීය සම්මානයෙන් පිදුම් ලද අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය සඟරජ හිමිපානන් වහන්සේ සිය අත් අකුරෙන් ම ලියා, ‛‛උතුම් අධ්‍යාත්මික බලයක් සහිත ගුරුතුමෙකු’’ ලෙස ලොවට හදුන්වා දුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නම් වූ අධ්‍යාත්මික නායකයාණන්ව හදුනා ගැනීමට ලැබීමත්, අවුරුදු දහනවයක් පුරාවට උන්වහන්සේගේ සෙවනේ දහම් ඇසීමට තරම් මා හට ද පිනක් තිබුනා නේද කියා සිතෙන විට, මගේ සිතට දැනෙන්නේ විශාල සැනසීමක්, ලොකු සතුටක්.

 

එම සැනසීම සහ සතුට හිමිකරගෙන සිටින තවත් පින්වත් පිරිස මේ ලිපිය කියවා, උන්වහන්සේ පවසනු ලැබූ වදන් සිහිකර සතුටට පත්වන බව ස්ථීරයි. එයට හේතුව මා මෙන් ම ඔවුන්ටද, මේ මහා අධ්‍යාත්මික නායකයාණන් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ව දැන හදුනාගෙන, උන්වහන්සේට සවන් දීමට මේ භවයේ දී ම පිනක් තිබුනා නොවේදැ යි සිහිපත් වන නිසයි.

 

ඉනේජ් එල්කින්ටන් – කටුනායක