පසුගිය අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අභිනවයෙන් ආසිරි ගැන්වූ දර්ශණ දෙව්මැඳුරේ නව ප්‍රධාන පූජාසනය මත ප්‍රථම දිව්‍ය පූජාව පසුගිය අගෝස්තු 18 වෙනි සෙනසුරාදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ දෝතින් පුද දෙනු ලැබූ අතර, අගෝස්තු 25 වෙනි ලබන සෙනසුරාදා සවස 6 සිට පැයක කාලයක්, පොදු මහජනතාව සදහා දර්ශණ දේව මන්දීරය විවෘතව තබනු ඇත.

 

සවස 5.45 සිට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සැදැහැවතුන් අත ඇති දර්ශණ ඉටිපහන් ආශිර්වාද කරන සේක. උන්වහන්සේ මෙම ඉටිපහන් ආශිර්වාද කරනු ලබන්නේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලයි. උන්වහන්සේ වෙතටම ගොස් දර්ශණ ඉටිපහන් ආශිර්වාද කරවා ගැනීමට ඔබට අවස්ථාව ලැබෙන බැවින්, ඔබට අවශ්‍ය දර්ශණ ඉටිපහන් සිද්ධස්ථානයේ ඉටිපහන් කවුළුවෙන් ලබන සෙනසුරාදා සවස 4.30 සිට ලබා ගත හැකියි. දර්ශණ ඉටිපහන් ආසිරි ගැන්වීම සඳහා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් සමීපයට ඔබ ගිය විට, උන්වහන්සේගේ සුරතේ පළඳා ඇති ශුද්ධවූ අපොස්තලික මුදුව සිපිචාර කිරීමට ද ඔබට හැකි වන අතර, මෙය කලාතුරකින් ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සුරතෙහි ඇති අපොස්තලික මුදුව, දැනට අවුරුදු හතලිහකට පෙර, එනම් 1978 ජූලි 1 වෙනි දින, නිර්මල කන්‍ය මරිය මාතාවෝ අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ 19 වන වරට දර්ශණය වූ අවස්ථාවේ දී එතුමියගේ සුරතට ගනු ලැබූ අතර, එදා සිට මේ දක්වාම, දැනට අවුරුදු හතලිහක් ගතවී තිබියදීත්, මේ අපොස්තලික මුදුවෙන් පිච්ච මල් සුවඳ නොකඩවාම පැතිරෙයි. මෙය ද නිර්මල මරිය මාතාවන්ගේ බරපතල හාස්කමකි.

 

අගෝස්තු 25 වෙනි සෙනසුරාදා සවස ඔබ එනවිට, මරිය තුමියගෙන් ඔබ ඉල්ලාගන්නට කැමති, ඔබගේ ජීවිතයේ ඔබ මුහුණ දී ඇති එකම එක ප්‍රධාන ගැටළුව ලියාගෙන එන්න. පිරිසිදු කුඩා කඩදාසි කැබැල්ලක, විසිපහකට අඩු සංඛ්‍යාවක වචන ප්‍රමාණයකින් ලිවිය යුතුයි. මේ සදහා අප සිද්ධස්ථානයෙන් නිකුත් කරනු ලබන, ඉල්ලීම් පත්‍රිකා සහ කවර ඔබට පාවිව්චි කල හැකියි, නැතහොත් ඔබම සපයා ගන්නා පිරිසිදු කුඩා කඩදාසි කැබැල්ලක් වූව ද පාවිච්චි කල හැකියි.

 

ඔබ දර්ශණ දෙව්මැදුර තුලට ඇතුළු වී, නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න සිරසේ දරා ඔබ දෙස බලා සිටින කුමරි මරියාවන් දෙස බලාගෙන ඔබ ලියා ඇති ඔබගේ ඉල්ලීම සිතින් එතුමියට කියන්න. මතක තබාගන්න, ඔබගේ ඉල්ලීම ලිවූ ලිපිය, ඔබගේ වම් අතේ තබාගෙන, වම් අත උඩට ඔසවා ගෙන, දෙව් මවුන් දෙස බලා ඔබගේ ඉල්ලීම නිහඩවම, සිතින් එතුමියට කියන්න. නිර්මල කන්‍ය මරිය මාතාවෝ සිය වම් හස්තයේ ජේසු බිළිදුන් වඩවාගෙන දර්ශණය වූ අවස්ථාව දැක්වෙන ප්‍රතිමාව ඉදිරියේ, ඔබගේ ඉල්ලීම ද වම් අතේ දරාගෙන සිටින්න.

 

ඔබ දෙව් මවුන් පාමුල දර්ශණ ඉටිපහනක් දැල්වීමට බලාපොරොත්තු වන්නේ නම්. දර්ශණ ඉටිපහන ඔබගේ දකුණු අතට ගෙන, ඔබගේ ඉල්ලීම ලිවූ කඩදාසිය වම් අතට ගෙන, ඉටිපහනත්, ඉල්ලීම ලිවූ කඩදාසියත් යන දෙකම මදක් උඩට ඔසවාගෙන, ඔබ ලියා ඇති ඉල්ලීම දෙව් මවු ඉදිරියේ සිහිපත් කර, ඉන්පසු ඔබගේ ඉල්ලීම, රතු පෙට්ටිය තුලට දමන්න.

 

ඔබගේ ඉල්ලීම රතු පෙට්ටිය තුලට දැමීම සදහා, නිල් මැණික් රන් ඔටුණු පැලදූ අප ආදර මෑණියන්ගේ ප්‍රතිමාව පාමුල රතු පෙට්ටිය තබා ඇත.

 

දෙව් මවුන් වෙත ඔබගේ ඉල්ලීම ලිවූ ලිපිය ඔබ දැමිය යුත්තේ, රතු පෙට්ටිය තුලට පමණකි. සිද්ධස්ථානයේ වෙනත් කිසිදු ස්ථානයකට ලිපි දැමීමත්, සිද්ධස්ථානයේ ඇති දෙව් මවුන්ගේ ප්‍රතිමා අසල ලිපි තබා යාමත් නොකල යුතු වන්නේ, එසේ කිරීමෙන් ඔබට කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බැවිනි.

 

ඔබගේ දකුණු අතේ දර්ශණ ඉටිපහනක් ඇතිනම්, එම දර්ශණ ඉටිපහන ඔබ දැල්විය යුත්තේ දර්ශණ දෙව්මැඳුර තුල නොවේ. දර්ශණ ඉටිපහන් දල්වා තැන්පත් කිරීම සඳහා විශේෂ ස්ථානයක් සූදානම්ව ඇත. ඔබගේ දර්ශණ ඉටිපහන දල්වා එම ස්ථානයේ තැන්පත් කරන්න. ඔබ කැමති සංඛ්‍යාවක් දර්ශණ ඉටිපහන් දැල්විය හැකියි.

 

සැදැහැවතුන් දර්ශණ ඉටිපහන් දැල්වීමේ අර්ථය ඔබට මතක් කර දීමට කැමතියි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වූයේ කහ පැහැති රෝස මල් මතයි. එතුමිය ජේසු බිළිඳුන් සිය වම් හස්තයේ දරාගෙන 1977 ජූලි 27 වෙනි දින දසඅට වෙනි වරට දර්ශණය වූයේ ද, කහ පැහැති රෝසමල් මතයි. මෙම රෝස මල් සංඛ්‍යාව 123 කි. රෝස මල් සමූහයකින් නිමවා ඇති මෙම දර්ශණ ඉටිපහන් සංඛේතවත් කරන්නේ, නිර්මල කන්‍ය මරිය මාතාවෝ රෝසමල් 123ක් මත දර්ශණය වීමයි.

 

නිර්මල කන්‍ය මරිය තුමිය අභිනව දර්ශණ දෙව් මැදුර කැපකිරීම වෙනුවෙන් ලබා දී ඇති විශේෂ වරප්‍රසාද දායක දින පහෙන්, තුන්වන දිනය වන ලබන අගෝස්තු 25 සෙනසුරාදාට පසුව එළඹෙන සෙනසුරාදාවන් පිළිබඳ විස්තර, ලබන සෙනසුරාදා ප්‍රකාශයට පත් කරනු ඇත.