‛‛නත්තල ලග එන විට කුඩා දරුවන් සන්තෝෂ වෙනවා. වැඩිහිටි අයත් සතුටු වෙනවා. නත්තල ලග එනවිට සන්තෝෂ වෙන තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි මිනිසුන් අතරේම හැදෙන සතුන්. ඒ සතුන් සන්තෝෂ වෙන්නේ නත්තල ලග එන බව දැනගෙන නොවෙයි, නත්තල් ලග එන විට සතුන්ට වැඩියෙන් ආහාර ලැබෙන නිසයි. සතුන් දන්නේ නැහැ, ඔවුන්ට මේ වැඩියෙන් ආහාර ලැබෙන්නේ, ඔවුන්ගේ බර වැඩි කර නත්තලේ දී මරගෙන කන්නටයි කියලා. ඒ නිසා ඔවුන්ව මරා දමන නත්තල ලග ලග එන බව සතුන් දනී නම් ඔවුන් සන්තෝෂ වෙයිද? ජේසු තුමන්ගේ උපත සිහිපත් කරන්නට මිනිසුන් සූදානම් වන බව දැන ගැනීමට හැකියාවක් සතුන්ට තිබේ නම් අහිංසක තිරිසන් සතුන්ගේ මර ලතෝනිය කෙසේ වෙයිද?’’

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙම වදන් ප්‍රකාශ කරනු ලැබුවේ 2019 නොවැම්බර් 14 වෙනි දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී යි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අපොස්තලික ශාලාවේ දී, අපොස්තලික මාධ්‍ය ජාලයේ නිලධාරීන් සමග පැවති හමුවේ දී සතුන් මරා මස් අනුභව කිරීම මෙන්ම ගව ඝාතනය පිළිබදව අදහස් දක්වමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙසේද ප්‍රකාශ කල සේක.

 

‛‛නත්තල් දිනයේ දී ගවයන්ට කතා කිරීමට ශක්තිය ලැබුනොත්, ඔවුන් මෙසේ කියාවි, ‛අනේ ජේසුස් ස්වාමි දරුවනේ, මහා කරුණා සාගරය වූ සාමයේ කුමාරයාණනේ, අපටත් කරුණා කළ මැනවි, ඔබගේ අනුගාමිකයන්ගෙන් අපව ගලවා ගත මැනවි.’ සත්තකින්ම ගවයන්ට කතා කිරීමට ශක්තිය ලැබුණොත්, ගවයින් නගන අදෝනාව, නත්තලේ දී දවාලන වෙඩි හඩත් මිහිරි ගීතිකා හඩත් පරදවා ඇසේවි. නත්තල් දිනයේ දී ක්‍රිස්තියාණි දෙව්මැදුරුවල, නිවෙස්වල ගවලෙන් හදනවා නේද? ඔය ගවලෙන් තුල, ජේසු බිළිදුන්ගේ ප්‍රතිමාව අසලින් අනිවාර්‍යයෙන්ම ගවයන්ගේ රූපත් තබනව. ගවලෙන තුල, ගවයන්ගේ රූප අසලින් ජේසු බිළිදුන්ගේ ද රූපය තබා, නත්තල් භෝජනයට ඒ අසරණ සතා මරා දමා, ඒ සතාගේ මස් ගිල දැමීම, ගවහලක උපන් ජේසු බිළිදුන්ට කරන්නා වූ අපහාසයක් නොවෙයිද? පළමු නත්තලේ දී ජුසේ තුමන් සහ මරිය තුමිය හැරුන විට ජේසු බිළිදුන් අසල සිටි අහිංසක සතුන් පිරිස ගැන ලොවම දන්නවා, ඔබත් දන්නවා. ජේසු බිළිදුන්ට මිනිසුන් අතර ඉඩක් දීම මිනිසුන් ප්‍රතික්ෂේප කලත්, සතුන් අතර ඉඩක් සලසා දීම සතුන් ප්‍රතික්ෂේප කලේ නැහැ. අද ඒ සත්ව වර්ගයාවම මිනිසුන් විසින් බිල්ලට ගැනීම, ඇත්තටම ජේසු තුමන්ගේ උපත සැමරීමේ නිවැරදි සහ සාධාරණ ක්‍රමය ද කියා සිතා බලන්න.’’

 

ගවයන් මරා දැමීම වැදූ මව මරා දැමීම හා සමාන බව පවසමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලෙසින් ද සදහන් කල සේක.

 

‛‛මිනිස් මවක් කිරි දෙන්නේ තම දරු පැටියාට පමණයි. නමුත් එළදෙනගේ කිරි සෑම මිනිස් පැටියකුවම පෝෂණය කරනවා. ඔබත් මමත් මවු කිරි බී පෝෂණය ලබා තිබෙනවා. මීට අමතරව අපි කාගේ කිරි ද පානය කරන්නේ? වැඩිහිටි වයසේ දී ත් අපි කාගේ කිරි ද පානය කර පෝෂණය ලබන්නේ? තම කුඩා වසු පැටියාට ඇති මවු සෙනෙහස වෙනුවෙන්, එළදෙනකගේ ලේ කිරි බවට පත් වූවත්, එයින් කිරි ස්වල්පයක් වසු පැටියාට බොන්නට ඉඩ හැර, අපි බලහත්කාරයෙන් කිරි ඉතිරි කරගෙන, ඒ ඉතිරි කිරි සියල්ලම සූරා බී වැඩුන මිනිසුන් වන අප ඒ සතාව මරා දැමීම, ඔබගේ මව මරා දැමීමක් හා සමාන යයි මම කීවොත් එය වැරදිද?’’

 

අපොස්තලික මාධ්‍ය ජාලයේ නිලධාරීන් ඉදිරියේ ගව ඝාතනය පිළිබදව කරුණු පැහැදිළි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා තව දුරටත් මෙලෙසින් ද පැවසූ සේක.

 

‛‛සෞඛ්‍ය අතින් බැළුවත්, ගව මස් ශරීරයට අහිත කරයි. කටේ දමා හපන ටික වේලාවට දැනෙන රසයට ඇයි ඔය අපරාධය කරන්නේ? ගව මස් සමග ගිල දැමූ අහාර වේලක්, හදිසියේ ඔබ වමනය කලොත්, අපරාදේ හරක් මස් කෑල්ල කියලා, නැවත ඒ ගව මස් ටික ඇහිඳගෙන කනවාද? ඉතින් ශරීර සෞඛ්‍යටත් අහිතකර, කටේ තබා හපන සුළු වේලාවට දැනෙන තාවකාලික රසයට වහල් වී ගව මස් ගිල දැමීම, කෘතගුණ සලකන උසස් මනසක් ඇති බව පවසන මිනිසාට කල හැකි වැඩක්ද?’’

 

බුදු මැදුරත්, දෙව් මැදුරත් අලංකාරවත් කරනු ලබන මල් පැලයක වැඩීමට අවශ්‍ය පොහොර ටික අපට සපයන, අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු සදහා වස විසෙන් තොර පොහොර ටික අපට ලබා දෙන, ගවයා මරා මස් අනුභව කිරීම මගින් ගවයා මරා දැමීමට අප රුකුල් දෙන බව ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පවසනු ලැබුවේ මෙලෙසිනි.

 

‛‛මිනිස් අපගේ ජීවිතයේ පහසුව සඳහා ගවයා කොතරම් වැඩ කොටසක් කර දෙනවාද? සමහර පළාත්වල තවමත් කරත්ත වලින් බර අදින්නේ ගවයායි. අපගේ පෝෂණය පිණිස බත නිපදවෙන කුඹුර හාන්නට උදව් දෙන්නේ ගවයායි. ඒ සතාගේ ගොම මේ මහ පොළොව සරු සාර කර, ඒ සරු සාර පොළොවෙන් නිපදවෙන එළවලු, පළතුරු අපේ ආහාරයයි. ඒ සරු සාර පොළොවෙන් හැදී එන මල් පුදසුන අලංකාර කරනවා. දෙව්මැදුරත් බුදු මැදුරත් අලංකාර කරනවා. මේ සියල්ලක් ගවයා අපට නොමිළයේ ලබා දෙනවා. ගව මස් කෑමෙන් කිතුණු අපි කරන්නේ, මෙතරම් සේවයක් කරන ගවයාව මරා දැමීමට රුකුල් දීමයි.’’

 

තිරිසන් සතුන්ට ද මේ පොළව මත කරදරයකින් පීඩාවකින් තොරව සහ මරණ භයෙන් තොරව ජීවත් වීමට ඇති අයිතිය නැතිකර දැමීමට මනුෂ්‍යයාට අයිතියක් නොමැති බව පෙන්වා දෙමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරණු ලැබුවේ, ‛‛ඔබ අසවල් දේ කෑ යුතුය, ඔබ අසවල් දේ නොකෑ යුතුය කියා ඔබට බලපෑම් කරන්නට මට අයිතියක් නැහැ. ඔබගේ නිදහසට අත තැබීමට මට අයිතියක් නැහැ. එසේම මනුෂ්‍යයාට පමණක් නොව, තිරිසන් සතුන්ට ද මේ පොළව මත කරදරයකින් පීඩාවකින් තොරව සහ මරණ භයෙන් තොරව ජීවත් වීමට ඇති අයිතිය නැතිකර දැමීමට මනුෂ්‍යයාට අයිතියක් නොමැති බව කියන්නට කැමැත්තෙමි’’ කියාය.

 

ඇතැම් ක්‍රිස්තියාණින් මහ සිකුරාදා දිනයේ සතුන්ගේ මස් අනුභව කිරීමෙන් වැලකී සිටීමේ ප්‍රතිපත්තිය ගැන ද අදහස් දක්වමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලෙස පැවසූ සේක.

 

‛‛බොහෝ ක්‍රිස්තියාණින් මහ සිකුරාදා දිනයේ හෙවත් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහිපත් කරන දිනයේ මස් අනුභවයෙන් වැලකී සිටිනවා. මහ සිකුරාදා දිනයේ මස් අනුභව නොකරන්නේ ඇයි? එසේ කිරීමෙන් ක්‍රිස්තුස් වහන්සේට සැනසීමක් ලැබෙනවාද? මහ සිකුරාදා දිනයේ මස් අනුභව නොකරන්නේ කුමන හෝ යහපත් අදහසකින් නම්, ඒ යහපත් අදහස නත්තල් දිනයේත් ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? මස් අනුභව නොකරනු දැකීමෙන් මහ සිකුරාදා දිනයේ ක්‍රිස්තුස් වහන්සේට දෙන සැනසීම හෝ ගෞරවය නත්තල් දිනයේත් නොදෙන්නේ ඇයි? එම සැනසීම හෝ ගෞරවය මුළු අවුරුද්ද පුරාවටම දිය යුතු නොවේද? නොකළ යුතු දෙයක් තිබේනම් එය මුළු ජීවිත කාලය පුරාවටම නොකල යුතු යි, කල යුතු දෙයක් තිබේනම් එය මුළු ජීවිත කාලය පුරාවටම කල යුතුයි.’’

 

අවසාන වශයෙන්, ගව ඝාතනය නතර කිරීම පිණිස කල යුතු හොදම දේ පිළිබදව අදහස් දක්වමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙලෙස පැවසූ සේක.

 

‛‛මගේ අදහස නම් ගව ඝාතනය නතර කිරීමට ඇති හොඳම ක්‍රමය, ගව මස් අනුභවය නතර කිරීමයි. නැත්නම් මරණ නිසා කනවා, කන නිසා මරනවා කියමින් තම හෘද සාක්ෂිය රවටා ගනිමින් කරන්නා වූ මේ මෘග ක්‍රියාව මනුෂ්‍යයා නතර කරන්නේ නැහැ.’’