2012 අප්‍රියල් 11 වෙනි  බදාදා සවස සුනාමියක් පිළිබඳව  අනතුරු ඇඟවූ අවස්ථාව ඔබට තවමත් මතක ඇති. වෙරළවල් ආසන්නයේ සිටි ජනතාව හිස් ලූ ලූ අත දිවගියේ ජීවිතය බේරා ගැනීමටයි. රූපවාහිනිය ඔස්සේද ගුවන් විදුලිය ඔස්සේද දිගින් දිගටම නිවේදන කලේ, තමන් සතු භාණ්ඩ ගැන කල්පනා නොකර හැකි ඉක්මනින් වෙරළින් කිලෝ මීටර් හතරක්වත් ඈතට යන්න කියලයි. විටින් විට සුනාමිය පැමිණෙන වේලාව ද දැනුම් දෙනු ලැබුවා. ස්ථීරවම සුනාමිය පැමිණෙන බවද ප්‍රකාශ කරනු ලැබුවා.

 

මේ සියල්ල මෙසේ සිදු වෙත්දී, ඒ අවස්ථාවේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා සිටියේ උන්වහන්සේගේ ලේකම් අශෝක ප්‍රනාන්දු මහතා සමග මීගමුවේයි. අපොස්තලිකාසන අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා සිටියේ කොළඹයි. සිද්ධස්ථාන නවීකරණ කටයුතු සඳහා යම් යම් භාණ්ඩ කීපයක් රැගෙන ඒමට ඒ මහතා කොළඹ ගොස් සිටියා.

 

සුනාමි අවදානම ගුවන් විදුලිය ඔස්සේ දැනුම් දීමත් සමගම අශෝක ප්‍රනාන්දු මහතා, ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ට ඒ බව දැනුම් දී, උන්වහන්සේව ආරක්ෂිත තැනකට රැගෙන යාමට ඉල්ලා සිටියද, උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ බය වීමට අවශ්‍ය නැති බවයි, කිසිම සුනාමියක් මේ වෙලාවේ එන්නේ නැති බවයි. එසේ පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළු තුමා කොළඹ ගොස් සිටි මනෝජ් චින්තක මහතාට දුරකථනයෙන් කතා කර, කොළඹ තත්වය ගැන විමසනු ලැබුවා. කොළඹින් කරගත යුතු වැඩ සියල්ල දැන් අවසන් බවත්, ඒ වෙලාවේ කලබල වී ඇති ජනතාව නිසා දැඩි වාහන තදබදයක් ඇති බැවින් කොළඹින් පිටත්වීම දුෂ්කර බවත් ඒ මහතා ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ට දන්වා සිටියා. ඊට උන්වන්සේගේ පිළිතුර වූයේ සුනාමියක් නොඑන බවත්, මේ වෙලාවේ වෙරළ තීරයේ ඇති මාර්ගය කිසිවෙක් පාවිච්චි නොකරන නිසා, මට්ටක්කුලිය පැත්තෙන්, උස්වැටකෙයියාව මාර්ගයේ, පිටිපන හරහා මීගමුවට පැමිණෙන ලෙසත්, රාත්‍රී වනතුරු උන්වහන්සේ මීගමුවේ රැඳී සිටින බවත්ය. ඒ අනුව ඒ මහතා එම කියන ලද මාර්ගයට මෝටර් රථය පදවා, ඉතා ඉක්මනින්ම මීගමුවට ආවා.

 

එම මාර්ගයේ කිසිවෙක් නොසිටි බවත්, වාහන ද නොතිබුණ බවත්, වෙරළ අයිනෙන්ම පාර ඇති නිසා කිසිවෙකුත් ඒ මාර්ගය පාවිචියෙන් වැලකී සියල්ලෝම එම පෙදෙසින් ඉවත්ව මාර්ගය හිස්වී තිබුණ නිසාත්, ඉතාමත් ඉක්මනින්ම මීගමුවට පැමිණීමට හැකි වූ බව මනෝජ් චින්තක මහතා අප වෙබ් අඩවියට ප්‍රකාශ කරනු ලැබුවා.

 

ඒ මහතා මීගමුවට පැමිණීමෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තුළු තුමා කරනු ලැබුවේ තවත් අපූරු යෝජනාවක්. ඒ වන විට සුනාමි රළ තවත් විනාඩි විස්සකින් ලංකාවට එන බව ගුවන් විදුලිය සහ රූපවාහිනිය ඔස්සේ දිගින් දිගටම අනතුරු හඟවමින් සිටියා. ශුද්ධෝත්තම අපොස්තුළු තුමා යෝජනා කරනු ලැබුවේ, උන්වහන්සේත් සමග මීගමු මුහුදු වෙරළ තීරයේ රැඳී ඉන්න කමතිද කියලයි. සැවොම එක පයින් කැමති උනා. ඒ අනුව, ඒ ඉතාමත් අවදානම් මොහොතේ, සුනාමියක් නොඑන බව පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ වචනය කෙරෙහි විශ්වාසය තැබූ උන්වහන්සේගේ ලේකම් අශෝක ප්‍රනාන්දු මහතාත්, අපොස්තලිකාසන අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාත්, ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් සමග රැඳී සිටියේ, මීගමුව වෙරළ තීරයේ, මුහුදෙන් අඩි දහයක පමණ දුරකිනි.

 

ගුවන් විදුලිය ඔස්සේ තව විනාඩි පහකින් පමණ සුනාමි රළ පැමිණෙන බව කියවෙන විට එම නිවේදන වලටද සවන් දෙමින් ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ඇතුළු පිරිස වෙරළ තීයේ එම ස්ථානයේම රැඳී සිටියා.

 

මේ සියල්ල සිදුවන අතරේ අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා සිටියේ විදෙස් ගතවයි. ලංකාවට ඇතිවී තිබෙන සුනාමි අවදානම ගැන දැනගන්නට ලැබී, ඒ මහතා ද දුරකතනයෙන් ඒ මොහොතේ තොරතුරු විමසා සිටි අතර, ඒ මහතාට දැනගන්නට අවශ්‍ය වුනේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් ආරක්ෂිතව සිටිනවාද යන්නයි. එහෙත් සශික විෂාන් මහතාට දැන ගැනීමට ලැබුනේ ඉතාමත් අනතුරුදායකම ස්ථානයක් ලෙස දන්වා ඇති මීගමුව මුහුදු වෙරළේ, මුහුදේ සිට අඩි දහයක් පමණ දුරින් උන්වහන්සේ විවේකීව සිටින බවත්, සුනාමියක් ගැන කිසිදු අවදානමක් මේ මොහොතේ නැති බවත්ය.

 

ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, සුනාමි අවදානමට ලක්වී තිබුණ මීගමු වෙරළ තීරයේ දී ප්‍රකාශ කලේ, ඒ මොහොත කිසිදු සුනාමි තත්වයක් ඇතිවන අවස්ථාවක් නොවන බවයි. නමුත් මහ පොළව යට ලොකු කැළඹීමේ තත්වයක් තිබෙන අතර, මෙම තත්වය ආරම්භ වූයේ දැනට සෑහෙන කාලයකට පෙර බවත් පැවසූ උන්වහන්සේ, 1986 දෙසැම්බර් විසි වෙනි දින නිර්මල කන්‍ය මරිය තුමී ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී සැදැහැවතුන් මධ්‍යයේ දර්ශණය වෙමින් ප්‍රකාශ කරනු ලැබූ පණිවිඩයේ එක් වගන්තියක් ද මතක් කර දුන්නා. ‛‛මනුෂ්‍යයන්ගේ පාද යටින් ඇත්තා වූ මහා ප්‍රපාතය ඔවුන්ට දැනෙන්නේ නැත’’ කියා දෙව් මවුන් එදා පැවසූ වගන්තියයි උන්වහන්සේ මතක් කර දුන්නේ. එදායින් පසුව මහ පොළව යටින්, මුහුදේ ගැඹුරු පතුල යටින් කොතරම් දේ සිදු වූවාදැයි පැවසූ උන්වහන්සේ, මරිය තුමීගේ පණිවිඩවලින් මිනිසාට වැඩක් නැත්නම් උන්වහන්සේ කුමක් කරන්නදැයි ප්‍රශ්ණ කරමින් උන්වහන්සේ තව දුරටත් කිව්වේ, පසුගිය වසරේ (2011) අප්‍රියල් දෙවෙනිදා සිය දේශණයේදී කල අනතුරු හැඟවීම තියා ඒ දේශණයෙන් කිවූ දේවල්වත් මතක බවක් හෝ පිළිපදින බවක් පෙනෙන්නට නැත්නම්, තව දුරටත් මොනවා කියන්නද කියලයි. කෙසේ වෙතත් මහ පොළව යට විශාල කැළඹීමක් සිදුවෙමින් පවතින බවත්, එය කෙමෙන් වර්ධනය වෙමින් පවතින බවත්, දෙව් මවුන්ද ප්‍රකාශ කලා සේ මහ පොළව යටින් ඇතිවන මේ මහා ප්‍රපාතයේ තත්වය අපොස්තුළු තුමෙක් වන තමන්ගෙන් අසා ගැනීමට තරම් උවමනාවක් නැතිව තමන්ව ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් නිසා උන්වහන්සේ එවැන්නන්ගේ දුෂ්ඨ අදහස් තේරුම් ගෙන ඇති බවත්, ඉදිරියේදී මහ පොළවෙන් පමණක් නොව ඉහළ අහසින් ද බොහෝ උවදුරු ජනතාවට සිදුවීම සඳහා ඉතා භයංකාර තත්වයක් පෙළ ගැසෙමින් තිබෙන බවත්, නමුත් උන්වහන්සේ නිහක්‍ෂව සියල්ලක් දෙස බලා සිටින බවත්ය.

 

මේ පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු වීම ඉතාමත් අශ්‍ය බව අපගේ හැඟීමයි.