ජාති ආගම් ආදී, මිනිසාගෙන් මිනිසා දුරස් කරවන, මිනිසා මිනිසාටම වෛර කරවන සියළුම භේදයන්ගෙන් තොරව මහා ජන ගගක් අති භාග්‍යවත් නිර්මල කුමරි මරිය මාතාවන්ගේ ප්‍රතිමාව වටා එකම දරු කැලක් ලෙසින් 2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියට එක් වී, රොක් වී සිටියේ, නිර්මල කන්‍ය මරියෝත්තමාවන් සියැසින් දැක ගැනීමට සුවිශේෂී වාසනාව ලබා සිටින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දෝතින්, නිර්මල කන්‍ය මරියාවන් ජේසු බිළිදාණන් ද වඩවා ගෙන දර්ශණය වූ අයුරු විදහා දැක්වෙන, දසඅට වන දර්ශණ ප්‍රතිමාවට ඔටුණු පළදවන අවස්ථාව දැක ගැනීමටයි.

 

දිවයිනේ සතර දිගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී ආ මහ ජන ගඟෙන් මුළු දර්ශණ භූමියම පිරී ඉතිරී ගොස් තිබුණි. බොහෝ බැතිමතුන්ට සිද්ධස්ථාන භූමියට ඇතුළු වීමට පවා අවකාශයක් නොලැබුනේ, කල් වේලා ඇතිවම රැස්ව සිටි ජනතාව ඒ වන විටත් දර්ශණ භූමියේ තෙරෙපෙමින් සිටි බැවිනි. ඒ නිසාම දර්ශණ භූමියෙන් පිටත මහ මග අද්දර ද රැඳී සිටින්නට ඔවුන්ට සිදු විය.

 

දර්ශණ භූමිය පුරාත්, දර්ශණ භූමියෙන් පිටතත් ආරක්ෂාව තර කර තිබුණි. විශේෂ පුහුණුව ලත් ආරක්ෂක භටයන් ද දර්ශණ භූමිය තුල රැඳී සිටි අතර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙව් මවු ප්‍රතිමාවට රන් මිණි කිරුළ පළඳවනු ලැබූ මණ්ඩපය අසල දැඩි ආරක්ෂාව යොදා තිබුණි.

 

රැස්ව සිටි මහා ජනකාය මැදින් අභිනව දර්ශණ දෙව් මැඳුරේ සිට ඉතාමත් සන්සුන්ව, සැමටම සුරත ඔසවා ආශිර්වාද කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, දෙව් මවුන්ට ඔටුණු පැළඳ වීමේ දේව මෙහෙය සඳහා ප්‍රධාන පීඨිකාවට පිවිසි අතර, උන්වහන්සේ වටකර විශේෂ ආරක්ෂක නිලධාරීන් යොදවා තිබුණි.

 

දේව මෙහෙය ආරම්භ වී ස්වල්ප වේලාවකින් ‛‛ජේසු බිළිඳුන් සමගින් දෙව් මවු’’ ප්‍රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් කිරුළ පළඳවනු ලබන අවස්ථාව උදා වූ අතර, අධික වටිනාකමකින් යුතු නිල් මිණි රන් කිරුළ දර්ශණ දෙව්මැඳුරේ සිට සැදැහැ ජනතාව අතරින් දැඩි ආරක්ෂාව මධ්‍යයේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත රැගෙන එනු ලැබුවේ අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා විසිනි. අපොස්තලික ලේකම් අශෝක ප්‍රනාන්දු මහතා ද ඒ සමගම විය.

 

ඔවුන් ඔටුන්න ද සමගින් ප්‍රධාන මණ්ඩපය වෙත පිවිස ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දණ ගැසූ අතර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න ආශිර්වාද කල සේක. ඉන්පසු මේ ඔටුන්න මද වේලාවක් සිය දෝත් මත තබාගෙන සිටි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා එය අපොස්තලික ලේකම් අශෝක ප්‍රනාන්දු මහතා අත තිබූ අලංකාර කොට්ටය මත තැබූ අතර ඉන්පසු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මණ්ඩපයේම ස්ථාපිත කර තිබූ දෙව් මවු ප්‍රතිමාව වෙත ගමන් කල සේක.

 

අපොස්තලික ලේකම් අශෝක ප්‍රනාන්දු මහතා ප්‍රතිමාව ඉදිරියේ දී නිල් මැණික් රන් කිරුළ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත පිළිගැන්වූ අතර, සැදැහැ ජනතාව මහත් හඬින් ‛අම්මා අම්මා’ යනුවෙන් ජය ඝෝෂා කරමින් සහ අත් පොලසන් දෙමින් දර්ශණ භූමිය පුරා පැතිරී ගිය මහා හක්‍ෂ මධ්‍යයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නිර්මල කන්‍ය මරිය මාතාවෝ සකල විශ්වයේම අග රැජිණ ලෙසින් නිල් මැණික් සහිත වටිනා රන් කිරුළින් පුදනු ලැබූ සේක.

 

නිර්මල කන්‍ය මරිය මාතාවන්ට නිල් මැණික් රත්තරන් ඔටුන්න පැළඳවීම සඳහා අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට සහය විය.

 

2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ට නිල් මිණි රන් කිරුළ පැළඳවීමේ සන්ධ්‍යා දේව මෙහෙයේ විවිධ අවස්ථා ස්වල්පයක් මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි