ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ සුරතේ පළඳා ඇති, අසිරිමත් ලෙස පිච්ච මල් සුවද පැතිරෙන ශුද්ධවු අපොස්තලික මුදුව පිළිබඳව බොහෝ දෙනෙක් දන්නා අතර, එම අසිරිමත් මුදුව මේ වන විට දහස් සංඛ්‍යාත ජනතාවක් සිපාචාර කර ඇත. විවිධ ජාතීන්ට අයත්, විවිධ ආගම් වලට අයත්, නොයෙකුත් තරාතිරමේ පුද්ගලයන් මෙම පිච්ච මල් සුවද විහිදෙන අපොස්තලික මුදුව ආදරයෙන්ද, භක්තියෙන්ද යුතුව සිපගෙන ඇත.

 

මෙම මුදුව රත්තරනින් නිමවා ඇත. මිනිස් අපට රත්තරන් යනු වටිනා දෙයකි. එහෙත් දෙවියන් වහන්සේ ඉදිරියේ රත්තරන් යනු යම් ලෝහ වර්ගයක් පමණි. එසේ නම් එම රත්තරන් නැමැති ලෝහයෙන් තනා ඇති මුදුවකින් පිච්ච මල් සුවද නිකුත් වීමට ආරම්භ වී 2018 ජූලි මස 1 වෙනි දිනයට වසර 40 ක් සම්පූර්ණ විය.

 

මෙලෙස පිච්ච මල් සුවද පැතිරෙන මුදුවක් ඇත්නම්, එවැනි මුදුවක් ලෝකයටම ඇත්තේ එකක් පමණයි. ඒ එකම මුදුව ඇත්තේද, කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානයේයි. ඒ මුදුවෙන් පිච්ච මල් සුවද හමන හේතුව බොහෝ දෙනෙක් දන්නා අතර, එම හේතුවට වසර 40 ක් සම්පූර්ණ වීම මෙම 2018 ජූලි මස 1 වෙනි දිනට යෙදේ. එනම් එම මුදුව නිර්මල කන්‍ය මරිය තුමිය එතුමියගේ සුරතට ගෙන සතලිස් වසරක් සම්පූර්ණ විය.

 

1978 ජූලි 1 වෙනි දින, නිර්මල කන්‍ය මරිය තුමී 19 වන වරට අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ට දර්ශනය වූ අවස්ථාවේදී, මෙම ශුද්ධවු අපොස්තලික මුදුව එතුමියගේ සුරතට ගෙන, ටික වේලාවක් එතුමියගේ සුරතෙහි තබාගෙන සිට, ආපසු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ටම භාරදෙනු ලැබුවාය. එතැන් සිට මේ දක්වාම, මෙම ශුද්ධවු අපොස්තලික මුදුවෙන් නොකඩවා පිච්ච මල් සුවද විහිදේ. ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ සුරතෙහි පළදා ඇති ශුද්ධවු අපොස්තලික මුදුව, මරිය මවගේ ශ්‍රී හස්තයන්ට ගෙන, 2018 ජූලි මස 1 වෙනි දිනයට වසර සතලිහක් සම්පූර්ණ වූ අතර පුදුමය නම් තවමත් මෙම අපොස්තලික මුදුවෙන් පිච්ච මල් සුවද පැතිරීමයි. ඇත්තටම මෙය මහා පුදුමයක් නොවන්නේද?

 

වසර 40 කට පෙර, එනම් 1978 ජූලි 1 වෙනි දින නිර්මල කන්‍ය මරිය තුමිය 19 වන වරට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් ඉදිරියේ සිදු වූ දර්ශනයේ විශිෂ්ඨතම විශේෂත්වය වන්නේ, නිර්මල කන්‍ය මරිය තුමිය සිය පණිවිඩය ප්‍රකාශ කිරීමෙන් පසුව, පිළිවෙලින් අපොස්තලික සැරයටියද, අපොස්තලික මුදුවද, ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් පාවිච්චි කරමින් සිටි ජපමාලයද, දෙව් මවුන්ගේ අතට ගෙන, ආපසු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ටම ප්‍රධානය කිරීමයි.

 

අපොස්තලික සැරයටිය ශුද්ධෝත්තම අපොස්තුළු තුමා විශේෂ දේව මෙහෙයන් වලදී මේ වන විටත් පාවිච්චි කරනු ලබයි. ශුද්ධෝත්තම අපොස්තුළු තුමා දැනටත් සිය සුරතේ පළදා සිටින්නේ වසර 40 කට පෙර, එනම් 1978 ජූලි 1 වෙනි දින නිර්මල මරිය තුමියගේ සුරතට ගනු ලැබූ අපොස්තලික මුදුවයි. එවකට ශුද්ධෝත්තම අපොස්තුළු තුමා පාවිචිචි කරමින් සිටි ජපමාලය, නිර්මල කන්‍ය මරිය මවු තුමිය එතුමියගේ සුරතට ගැනීමෙන් පසුව, එම ශුද්ධවු ජපමාලය ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් විසින්, නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාවකට පළඳවා, යම් යම් අවස්ථාවන් වලදී එම ශුද්ධවු ජපමාලය පැළදූ දෙව් මවු ප්‍රතිමාවෙන් බැතිමතුන්ට ආශිර්වාදය දානය කරනු ලබයි.

 

නිර්මල මරිය තුමිය එතුමියගේ අතට ගනු ලැබූ පිච්ච මල් සුවද පැතිරෙන ජපමාලය පළදවා ඇති ප්‍රතිමාවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ආශිර්වාදය දානය කරන අවස්ථාවල දී ද, පිච්ච මල් සුවඳ පැතිරෙන අපොස්තලික මුදුව සිපාචාර කිරීමෙන් ද බැතිමතුන් වරප්‍රසාද ලබා ඇති අතර, රෝගීන් සුවපත් වීම්ද වාර්තා වී ඇත.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් නිරන්තරයෙන් ඔබට අසන්නට ලැබෙන්නේ බොහෝ පුදුමාකාර දේය. හේතුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේම ලෝකයට තෝරා දුන් අපොස්තුළු තුමෙක් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි ජීවත් වන බැවිනි. නිර්මල කන්‍ය මරිය තුමියගේ දෙනෙත් නිරතුරුවම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත යොමු වී ඇති බැවිනි. ජේසුස් ස්වාමින් වහන්සේද, නිර්මල කන්‍ය මරිය තුමියද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශනය වී ඇති බැවිනි. ස්වර්ගීය දේව දූතයන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ නිරන්තරයෙන් (ඇතැම් අවස්ථාවල සැදැහැවතුනට පෙනි පෙනීම) සැරිසරන බැවිනි. තවත් කීමට ඇති අසිරිමත් දේ බොහෝමයකි. ඉදිරියේදී කියන්නට සිදුවන තව අසිරිමත් දේ ද බොහෝ ඇත.

 

මේ සියල්ලක් අසන දකින ඔබ ‛මෙවැන්නක් කෙසේ විය හැකි දැයි’ (ලූක් 1/34) සිතනු ඇත. ඊට පිළිතුර මෙයයි. සර්වබලධාරී දෙව් මහෝත්තමයාණෝ, ගාබ්‍රියෙල් අග්‍ර දේව දූතයා මාර්ගයෙන්, මරිය තුමියට මංගලම් කිවූ අවස්ථාවේදී, එතුමියට පැවසූ මෙම වගන්තිය, ලොව සියළු ජනයා, විශේෂයෙන්ම සියළුම ක්‍රිස්තියානින් නිරන්තරයෙන් සිහිපත් කල යුතු කාලය දැන් නැවතත් ලෝකයට උදාවී ඇත. එම වගන්තිය මෙයයි. ‛‛දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැත’’ ශුද්ධවු ලියවිල්ලේ, ලූකස් තුමාගේ සුවිශේෂයේ පළමුවන පරිච්ඡේදයේ, තිස්හත් වන වගන්තියේ මෙය සඳහන් වේ.