නිර්මල කන්‍ය මරිය මවු තුමියගේ ඇල්මත් බැල්මත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත හිමි වී ඇති නිසා, අද මෙම සිද්ධස්ථානය නිර්මල කන්‍ය මරිය තුමියගේ මහා හාස්කම් සිද්ධස්ථානය බවට පත්වී තිබෙනවා. ජනතාවට අපමණ පිහිට ලබාගත හැකි මහා හාස්කම් සිද්ධස්ථානයක් බවට මෙම සිද්ධස්ථානය පත්වී ඇත්තේ, මෙම සිද්ධස්ථානයේ දී ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී ලොවට අපොස්තුළුතුමෙකු තෝරා දුන් නිසා ම නොවෙයි, ඒ අපොස්තුළුතුමා අදටත් මෙම සිද්ධස්ථානයේ වැඩ සිටින නිසා ම නොවෙයි, නිර්මල කන්‍ය මරිය මවු තුමිය මෙම සිද්ධස්ථානයේ විසිතුන් වතාවක් දර්ශණය වූ නිසා ම නොවෙයි. මේ සියළු කාරණාවන් නිසාම සිද්ධස්ථාන පාලක මණ්ඩලය, මෙම සිද්ධස්ථානයේ දැඩි විනයක් පවත්වාගෙන යන නිසයි.

 

මේ මහා හාස්කම් සිද්ධස්ථානයේ දී අගෝස්තු 11 වෙනි ලබන සෙනසුරාදා සවස 6 ට, අභිනව දර්ශණ දෙව් මැදුර අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ සුරතින් ආශිර්වාද කරනු ලබන අතර, මෙම දර්ශණ දෙව් මැදුර මෙලොව කිසිවෙකුගේවත් ඉල්ලීමක් නිසා නොව, අප ස්වර්ගීය නිර්මල මරිය මෑණියන්ගේ ම ඉල්ලීම හේතුවෙන් ඉදිකරනු ලැබූවක්.

 

ලබන සෙනසුරාදා සවස දර්ශණ දේව මන්දීරය ආසිරි ගැන්වීමෙන් පසුව, දර්ශණ දෙව් මැදුරට ඇතුළුවීම සදහා පැයක කාලයක් දර්ශණ දෙව් මැදුර විවෘතව තබනවා. එම කාල සීමාවේ දී, ඔබගේ ඉල්ලීම් ලිපි, දර්ශණ දෙව් මැදුර තුල ස්ථාපිත නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ ප්‍රධාන ප්‍රතිමාව පාමුල රතු පෙට්ටියට දැමිය හැකියි.

 

දර්ශණ දෙව් මැදුර ආසිරි ගැන්වීමෙන් පසුව, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ‛දර්ශණ ඉටිපහන්’ ආශිර්වාද කිරීම සදහා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට පැමිණෙන අතර, පැයක කාලයක් උන්වහන්සේ සැදැහැවතුන් අත ඇති දර්ශණ ඉටිපහන් ආශිර්වාද කරනු ලබනවා.

 

අභිනව දර්ශණ දේව මන්දීරයට ඇතුළුවීම සදහාත්, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට ඇතුළුවීම සදහාත්, සිද්ධස්ථානයේ විනය නීතීන්ට අනුව කටයුතු කිරීම අනිවාර්ය බැවින්, ඒ පිළිබදව ඔබව දැනුවත් කිරීමට කැමතියි.

 

අභිනව දර්ශණ දේව මන්දීරයට ඇතුළුවීම සදහාත්, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට ඇතුළුවීම සදහාත්, සියළුම කාන්තාවන් වේල් පැළද සිටිය යුතු අතර, එම වේල් කළු පැහැති විය යුතුයි. රෙදි කැබලි, ලේන්සු වැනි වෛවර්ණ රෙදි වර්ග, කාන්තාවන් පූජනීය ස්ථානයක පැළදිය යුතු වේල් නොවෙයි. විවිධ තොප්පි වර්ග පැළද සිටීම ද සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, වේල් පැළද සිටීමේ නීතිය අවුරුදු හතට අඩු කුඩා දරුවන් සඳහා ක්‍රියාත්මක නොවේ.

 

තවද සියළුම කාන්තාවන් දර්ශණ දෙව් මැදුර තුලට ඇතුළු වීමේදීත්, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලට ඇතුල්වීමේදීත්, වේල් පැළදගෙන සිටිය යුතුයි.

 

ආම් කට් යනුවෙන් හදුන්වන අත් රහිත ඇදුම් මෙන්ම, ලේස් රෙදි වැනි ශරීරය විනිවිද පෙනෙන ඇදුම් පැළදීම ද, කාන්තා සහ පිරිමි දෙගොල්ලන්ම නොකරන්න. සියළු කාන්තාවන්ගේ ඇදුම් දණහිසින් පහතට තිබිය යුතු අතර, පිරිමි බැතිමතුන් කොට කලිසම් වර්ග ඇද සිටීම නොකරන්න. කලිසම අදිනවානම් දිග කලිසම ද, සරොම් අදිනවානම් සරම දිගට සිටින ලෙසින්ද සැරසී සිටින්න. මෙම විනය නීතිය අවුරුදු හතට අඩු කුඩා දරුවන් සදහා ක්‍රියාත්මක නොවන අතර, කාන්තාවන් තමන්ගේ බඩ පෙනෙන පරිදි ඇදුම් පැළද සිටීම ද නොකරන්න.

 

සිද්ධස්ථානයේ දී ඔබගේ ජංගම දුරකතන, ක්‍රියා විරහිත කර හෝ ශබ්දය පිට නොවන ලෙසින් නිශ්ශබ්ද කර තබන්න.

 

මෙම විනය නීතීන් පිළිබදව අපොස්තලික ආරක්ෂක සේවයේ නිලධාරීන් විමසිල්ලෙන් සිටින අතර, මෙම ශීලාචාර ක්‍රම අනුගමනය නොකරන, අශීලාචාර කිසිවෙකුවත්. දර්ශණ දෙව් මැදුරට සහ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලට ඇතුළු නොකරන බව කරුණාවෙන් සලකන්න.

 

නිර්මල කන්‍ය මරිය තුමියගේ හාස්කම් පුද බිමක් බවට මෙම සිද්ධස්ථානය පත්වී ඇත්තේ, එතුමියගේ දයාබර නේත්‍රයන් නිරතුරුවම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත යොමු වී ඇති නිසයි. එබැවින් එම ශ්‍රී නේත්‍රයන්ගෙන් දැකීමට අකමැති, අමිහිරි කිසිවකින් මෙම සිද්ධස්ථානය කෙලෙසා ගැනීමෙන් වැලකී සිටීම සදහාම, සිද්ධස්ථාන පාලක මණ්ඩලය මගින් විනය නීතීන් ගණනාවක්ම පනවා තිබෙනවා. එම විනය නීතීන් අනුව කටයුතු කිරීමට නොහැකි උදවිය සිද්ධස්ථානයට පැමිණීමෙන් වැලකිය යුතු අතර අපොස්තලික ආරක්ෂක සේවය ඒ පිළිබදව දැඩි විමසිල්ලෙන් ක්‍රියා කරනු ලබනවා.

 

නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1985 දෙසැම්බර් 21 වෙනි දින මෙම සිද්ධස්ථානයේ දර්ශණය වූ අවස්ථාවේ දී මෙලෙස පවසනු ලැබුවා. ‛‛නූතන ස්ත්‍රීන් අශෝභන ලෙස පළදින ඇදුම් ගැන ස්වාමින් වහන්සේ කම්පා වී සිටියි. පිරිසිදුකමද, ශීලාචාරකමද විනාශ කරවන අන්දමින් ඔවුන් දිනෙන් දිනම තම විලාසිතා නවීකරණය කර ගනියි. අශෝභන විලාසිතා තුලින් ඔවුන්ද සාතන්ට ලෝකය තුල ඉඩ සලසා දෙයි. නොහොබිනා ඇදුම් මගින්, නොහොබිනා පිළිවෙලට තම ශරීර ප්‍රදර්ශණය කිරීමට ස්ත්‍රීන් දක්වන උනන්දුව අප්පිරියාවකි.’’

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වෙමින් මෙලෙස පැවසූ නිර්මල කන්‍ය මරිය තුමියට අප්පිරියාවක් ඇති වන දසුන්, මෙම සිද්ධස්ථානය තුලම දැක ගැනීමට සැලැස් විය නොහැකියි.