ලෝකයේ විවිධ දේශයන්හි දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ, ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වරට දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ ස්ථාපිත දෙව් මවුන්ගේ ප්‍රතිමාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට ප්‍රථමයෙන් දෙව් මවු ප්‍රතිමාව අභියස පැවැත්වෙන ජපමාල උපහාර සැඳෑ මෙහෙය ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා සවස 6.30 ට, දැනට ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමාණන් වූ, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

 

වර්ෂ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින නිර්මල කන්‍ය මරිය තුමී ප්‍රථම වරට දර්ශණය වූ අතර මේ වන විට විසිතුන් වතාවක් එතුමිය මෙම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී දර්ශණයවී තිබීම විශේෂත්වයක්.

 

වර්ෂ 1984 පෙබ්‍රවාරි 12 වෙනි දින, මෙම දේව මාතා ප්‍රතිමාව අභිනවයෙන් ආසිරි ගන්වා, එතුමියගේ සිරසට රන් ඔටුණු පළඳවා, එතුමියගේ දෝතට රන් ජපමාලයක් පුද කරනු ලැබුවේ ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමයි. එතැන් සිට මෙම දෙව් මවු ප්‍රතිමාව, ආගම් භේදයකින් තොරව සැදැහැ ජන හදවත් ඇද බැඳ තබාගත් අතර, සිද්ධස්ථානය ඉදිරිපිට මහා මාර්ගයේ යන එන්නන් මෙම දෙව් මවු ප්‍රතිමාව අභියස දණින් වැටී යාච්ඤා කිරීම ද දෙව් මවුන්ට ලැදි බැතිමතුන්ගේ සිරිතක්. එදා පටන් සිද්ධස්ථානයට ඇතුළු වන විටත්, පිටවන විටත් සැම දෙනෙක්ම මෙම දෙව් මවු ප්‍රතිමාව ඉදිරිපිට මොහොතක් නතර වෙන්නට අමතක කලේ නැහැ.

 

මෙම දෙව් මවු ප්‍රතිමාව ඉදිරිපිට යාච්ඤා කිරීමෙන් බොහෝ දෙනෙක් විවිධ පිහිට උපකාර ලබාගෙන ඇති බව රහසක් නොවෙයි. නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ හාස්කම් පුදබිමක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ මේ දිනවල සිදුවන නවීකරණ කටයුතු නිසා මෙම දෙව් මවු ප්‍රතිමාව මේ වන විට අවුරුදු තිහකට ආසන්න කාලයක් ස්ථාපිත ස්ථානයෙන් ඉවත්කර වෙනත් ස්ථානයක තැන්පත් කිරීමේ අවශ්‍යතාවය හේතුවෙන්, මෙම දෙව් මවු ප්‍රතිමාව ඉවත් කිරීමට පෙර, දෙව් මවු ප්‍රතිමාව අභියස ඔක්තෝම්බර් 5 වෙනි දින සවස 6.30 ට පැවැත්වෙන ජපමාල උපහාර සැඳෑ මෙහෙය නව අත්දැකීමක් වන බව සැදැහැ ජනතාවගේ විශ්වාසයයි.

 

දෙව් මවු ප්‍රතිමාව ඉවත්කිරීමට පෙර, ප්‍රතිමාව අභියස දින නවයක් ජපමාලය ඔප්පු කරන ලෙසට, දෙව් මවුන් විසින්ම කරනු ලැබූ ඉල්ලීමක් හේතුවෙන්, දෙව් මවු ප්‍රතිමාව අභියස ජපමාලය පුද කිරීමට සැදැහැවතුන් ආරම්භ කරනු ලැබූ අතර, අතර, එහි ප්‍රථම දිනය 2013 අගෝස්තු 3 වෙනි සෙනසුරාදා සවස පැවැත් වුනා. එතැන් සිට සෙනසුරාදාවන් නවයක් තුල පුද කෙරුණ ජපමාලයේ නව වන දිනය සැප්තැම්බර් 28 වෙනි සෙනසුරාදා පැවැත් වුනා. ලබන ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා සවස දෙව් මවුන් පාමුල පැවැත්වෙන උපහාර සැඳෑ මෙහෙයෙන් පසුව දෙව් මවු ප්‍රතිමාව ඉවත් කිරීමේ කටයුතු සිදු වෙනවා.

 

සැප්තැම්බර් 28 වෙනි සෙනසුරාදා සවස නවවන ජපමාල උච්චාරණයට ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සහභාගි වුනා. උන්වහන්සේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ පීඨිකාවේ සිට ජපමාලය උච්චාරණයට සහභාගිවූ අතර සැදැහැවතුන් ද දෙව් මවු ප්‍රතිමාව අභියස සිට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සමගින් ජපමාලයට එක්වුනා. පහත ඡායාරූප මගින් එම අවස්ථාව ඔබට දැකගත හැකියි.