දේව මෙහෙයක් පැවැත්වීම සදහා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියට හෙවත් දර්ශණ භූමියට පැමිණි අවස්ථාවක්

 

නිර්මල කන්‍ය මරියෝතමාවන් වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, අප්‍රියල් 29 වෙනි ලබන සෙනසුරාදා සවස පැවැත්වෙන දෙව් මවුන්ට නිල් මිණි රන් කිරුළ පැළදවීමේ සන්ධ්‍යා මෙහෙයට සහභාගි වීම සදහා පැමිණීමට බලාපොරොත්තු වන බැතිමතුන් එදින සවස 5.30 ට පෙර සිද්ධස්ථාන භූමිය හෙවත් දර්ශණ භූමියට ඇතුළු විය යුතු බව අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා අවධාරණයෙන් ප්‍රකාශ කර සිටියි.

 

අප්‍රියල් 29 වෙනි ලබන සෙනසුරාදා අති විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සිද්ධස්ථාන භූමිය හෙවත් දර්ශණ භූමිය තුල ක්‍රියාත්මක කරන බවත් විශේෂ පුහුණුව ලත් ආරක්ෂක භටයන් සිද්ධස්ථාන භූමිය තුල රඳවා තබන බවත් කියා සිටින මනෝජ් චින්තක මහතා, ආරක්ෂක හේතූන් මත සිද්ධස්ථානයට ඇතුළුවන ගේට්ටු සවස 5.30 ට අගුළු දමා වසන බවත් වැඩි දුරටත් කියා සිටියි.

 

නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න පැළඳවීම ලබන අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස 6 ට, අති උත්කර්ෂවත් අන්දමින්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ දී සිදු කෙරෙනු ඇත.

 

මෙම ඉතාමත්ම වටිනා නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න දෙව් මවු සිරසට පළඳවනු ලබන්නේ, ශ්‍රී ලංකාවේ ජීවත් වන ලොව එකම අපොස්තුළුතුමාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් වහන්සේගේ ශුද්ධවූ සුරතිනි. නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් දැක ගැනීමේ වාසනා මහිමය ලැබුවේ මේ අපොස්තුළුතුමාණන් වහන්සේ යි.

 

දෙව් මවුන්ගේ සිරසට පැළඳවීම සඳහා ඔටුන්නක් සෑදීමට ආධාර කරන්න කියා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා කිසිවෙකුගෙන්වත් ආධාර ඉල්ලුවේ නැත, උන්වහන්සේ ඒ සඳහා ආධාර බලාපොරොත්තු වූයේවත් නැත. ධනවත් ව්‍යාපාරික දෙමාපියන් වූ ජී. සී. අපොන්සු මැතිතුමා සහ එම මැතිණියගේ පුත්‍රයා වන, මේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, සිය දෙමාපියන්ගෙන් උරුම වූ විශාල දේපල වස්තුව යොදවා, තම දෑසින් දුටු දෙව් මවුන් වෙනුවෙන් රුපියල් කෝටි අටක් වැයකර, මුළුමනින්ම වායු සමනය කල අලංකාර දේව මන්දීරයක් ද සාදවා, එපමණක් ද නොව මේ වටිනා රත්තරන් ඔටුන්න ද සාදවා ඊට නිල් මැණික් රාශියක් ද ඔබ්බවා, අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස 6 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැවැත්වෙන අභිමානවත් සන්ධ්‍යා මෙහෙයේදී සිය සුරතින් දෙව් මවුන්ට පුද දීමට සූදානම්ව සිටියි.