ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසූ ධර්මයේ අයිතිකරුවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේමයි. ඊළඟට උන්වහන්සේගේ අපොස්තුළුවරුන් පිරිසයි. මෙලොවින් සමුගෙන ස්වර්ගාරෝහණ වීමට පෙර ජේසුස් ස්වාමින් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ ප්‍රකාශ කල සේක. ‛‛මම ද කල්පාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි’’ (මතෙව් 28/20) ජේසුස් ස්වාමින් වහන්සේ සදහටම ලෝකය දෙස බලා සිටින සේක. අපොස්තුළුවරුන් මගින් මේ ලෝකයේ අප සමග සිටින සේක. අපොස්තුළු තුමෙක් මෙලොව සිටීම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේම මේ ලෝකයේ සිටීම වැනිය. අවුරුදු ගණනාවකට පසු නැවතත් මේ ලෝකයට අපොස්තුළු තුමෙකු ලැබී ඇත. එනම් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ නැවතත් අප අතර විසීමට පැමිණියාක් හා සමානය.

 

අද ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමා සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරා පත්කරනු ලැබූ දෙවන අපොස්තුළු තුමාවන අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමාණන් වෙත ‛‛පූජනීය අපොස්තුළුවරය’’ දානය කරනු ලැබුවේ 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ය.

 

කල්පාන්තය දක්වා සදහටම අප හා සමග සිටින බවට දෙවි මහෝත්තම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වදාළ උන්වහන්සේගේ ම වදන් විශ්වාස කරන අපි, ‛ජේසු ජීවමානයි’ කියන්නෙමු. මෙම වදන් පෙල විවිධ අවස්ථාවන් හි අපේ ජීවිතයන් තුල අපි සිහි කරන්නෙමු. ඇතැම් වාහනවල මෙම වදන් යොදා ඇති අයුරු අපගේම දෑසින් අපි දකින්නෙමු.

 

එසේනම් ජීවමාන ජේසු තුමන්ගේ, ප්‍රභල ජීවමාන ක්‍රියාවක් ලෙසින්, ස්වර්ගාරෝහණ වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ලොව පළමු වරට අපොස්තුළුතුමෙකු පත් කරනු ලැබුවේ ක්‍රි. ව. 33-36 දී සිරියාවේ, දමස්කස් නගරයේ දී දර්ශණය වීමෙනුයි. ඒ ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමාවයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිස් වෙසින් වැඩ සිටි දෙවි මහෝත්තමයාණන් ලෙස අපොස්තුළුතුමන්ලා 12 දෙනෙකු මෙලොව වෙසෙත් දී ක්‍රි. ව. 30 දී පත්කරනු ලැබූ අතර, උන්වහන්සේ සිය දිවි පුදා, පසුව මරණයෙන් උත්ථාන වී, ඉන් දින 40 කට පසු ස්වර්ගාරෝහණය ද වී, පූර්ණ දේවත්වයෙන් යුතු දෙවි මහෝත්තමයාණන් ලෙසින්, ප්‍රථම වරට මේ ලෝකයට දර්ශණය වී පත්කරනු ලැබූ, ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමන්ව ක්‍රි.ව. 65 දී පමණ මරා දමනු ලැබුවේ කඩුවකින් කොටා හිස කදින් වෙන්කර දැමීමෙනුයි.

 

ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමන්ගේ මරණයෙන් අවුරුදු 1910 කට පමණ පසුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවතත් දර්ශණය වන්නේ කිසිදු අපොස්තුළුතුමෙකු නොමැති පෘතුවියේ, ශ්‍රී ලංකාවේ, කටුනායක නගරයේ දී යි. ඒ 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින සවස යි. මෙවර ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ තෝරාගනු ලබන්නේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු තුමාණන්වයි.

 

පූර්ණ දේවත්වයෙන් යුතු දෙවි මහෝත්තමයාණන් ලෙස දෙවන වරට මේ ලෝකයට දර්ශණය වී පත්කරනු ලැබූ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා තවමත් අප අතර ජීවත් වෙයි. ජාති ආගම් භේදයකින් තොරව ජනතාව උන්වහන්සේගේ ධර්ම දේශනාවන්ට සවන් දෙයි. තම ජීවිත වෙනස් කර ගනිමින් සිටියි.

 

සැබවින්ම මේ අපොස්තුළුතුමාණන්ව තේරුම් ගැනීමට ජාති ආගම් භේදයක් අවශ්‍ය නොවෙයි. එහෙත් පින අවශ්‍ය වෙයි.

 

අන් අයගේ සිත් දැනගැනීමට පමණක් නොව, අන් අයගේ අධ්‍යාත්මික තත්වය සහ අධ්‍යාත්මික හැකියාවන් නිවැරදිව වටහා ගැනීමේ සුවිශේෂී අධ්‍යාත්මික බලයක් හිමි කරගෙන වැඩ විසූ, අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත, අභිධජ මහා රට්ඨ ගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන් පිළිබදව බොහෝ දේ මහා නාහිමිපාණන්ගේ ම අත් අකුරින් ලියා ඇති අතර, ඬඬශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් පිළිබඳව බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන්ගේ අදහස්ඬඬ යනුවෙන් පොතක් ද පලවී තිබේ. අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන් සිය අත් අකුරින්ම ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ගැන එම පොතෙහි මෙලෙස එක් අනාවැකියක් සදහන් කර ඇත. ‛‛අපොස්තලික පියතුමා උතුම් ගුරුවරයෙකු ලෙසට නුදුරු අනාගතයේ දී මුළු ලොවටම අති මහත් සේවයක් කරණු ඇතැයි මගේ බලාපොරොත්තුව මෙන්ම නිගමනයයි’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පෙර සිටි අන් අපොස්තුළුතුමන්ලා මෙන්, ක්‍රිස්තුස් වහන්සේ දෙසූ ධර්මය මෙලෙස යයි දේශනා කරනු ලබන්නේ කිසිදු සංශෝධනයකින් තොරවයි. ඒ නිසාම මේ අපොස්තුළුතුමන්ට සවන් දීමට තරම් පිනක් ඇති ජනතාව දැන් ධර්මයට නැඹුරු වී සිටිති.

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ම තෝරා ගැනීමක් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය 44 වන අපොස්තලික වර්ෂය හමාර කර, 45 වන අපොස්තලික වර්ෂය ආරම්භ කරන්නා වූ මෙම අවස්ථාවේ අපි උන්වහන්සේට සුභ අපොස්තලික වර්ෂයක් ප්‍රාර්ථනා කරන්නෙමු. මෙවන් අපොස්තුළුතුමෙකු අපට ප්‍රධානය කරනු ලැබූ අප දයාබර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ස්තූති ප්‍රශංසා කරන්නෙමු.