කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු ශ්‍රී ලංකාවේ දී දේව මෑණියන් දර්ශනය වී ඇති එකම සිද්ධස්ථානයයි. මෙම සිද්ධස්ථානයේ දර්ශන දේව මන්දීරය තුල ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිදුණු කන්‍ය මරිය මාතාවෝ 23 වාරයක් දර්ශනය වී තිබෙනවා. මෙම දර්ශන 23 ම සිදුවී ඇත්තේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරිපිටදී යි. එමෙන්ම නිර්මල කන්‍ය මරිය මාතාවෝ ලෝකයට ප්‍රකාශ කිරීමට විවිධ පණිවිඩ රාශියක් ද ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් හට ප්‍රකාශ කර තිබෙනවා.

 

මෙම දර්ශන 23 අතරින්, 1977 ජුලි මස 27 වෙනි දින සිදුවූ එතුමියගේ දසඅටවැනි දර්ශනය අති සුවිශේෂි දර්ශණයක් වුණා. එය අති සුවිශේෂී දර්ශණයක් වූයේ, එදින කන්‍ය මරිය උත්තමාවිය, එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිඳුන්ව ද හොවා ගෙන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ පෙනී සිටීමයි. එදින සිදුවූ මේ අති සුවිශේෂී දර්ශනය සංකේතවත් කරමින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශන දේව මන්දීරය තුල ප්‍රධාන පූජාසනයට ඉහළින්, නිර්මල කන්‍ය මරිය මාතාවන් එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිඳුන් වඩවා ගෙන වැඩ සිටින, අති මනස්කාන්ත ප්‍රතිමාවක් ස්ථාපිත කර තිබෙනවා. මෙම ප්‍රතිමාව දර්ශණ දේව මන්දීරයේ ප්‍රධානතම ප්‍රතිමාව වන අතර, එහි ප්‍රධාන පූජාසනයේ ඉහළින්ම ස්ථාපිතව තිබෙනවා.

 

2019 ජූලි 27 වෙනි දිනයට, හරියටම වසර 42 කට පෙර සිදුවූ එම අති භාග්‍යවත් සිදුවීම සිහිකරමින්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු හා පාවුළු අපෝස්තුළු උයන තුල සියළු කටයුතු සූදානම් කර තිබුනේ, සිරිත් පරිදි සවස 5 ට හාස්කම් යාච්ඤාව ආරම්භ කිරීම සදහායි.

 

හාස්කම් යාච්ඤාව ආරම්භයේ දී ම සිදුවන්නේ සැදැහැවතුන් විසින් දර්ශණ ඉටිපහන් දැල්වීමයි. නමුත් ඊට පෙර එම ඉටිපහන් දෙව් මවුන් දර්ශණය වූ ස්ථානයේ තබා සැදැහැවතුන් අතට පත් කරනු ලැබීම සිරිතයි. මේ සදහා දර්ශණ දෙව්මැදුර තුලට ඇතුළු විය යුතුයි.

 

2019 ජූලි 27 වෙනි සෙනසුරාදා දිනයේ ද දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිත නිර්මල කන්‍ය මරිය තුමිය ජේසු බිළිදුන් වඩවා සිටින ප්‍රතිමාව පාමුල, සැදැහැවතුන් භාර දුන් මෙම දර්ශණ ඉටිපහන් තැන්පත් කරනවාත් සමගම, ජේසු බිළිදුන් සමග වූ දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවදක් විහිදී ආ අතර, එම අසිරිමත් සුවද දර්ශණ දෙව්මැදුර පුරාවටත්, මුළු සිද්ධස්ථාන භූමිය සිසාරාත් විහිදී පැතිරෙන්නට වුනා.

 

රැස්ව සිටින බැතිමතුන්ගේ එකම එක ඉල්ලීමක් ලියූ ලිපිය, හාස්කම් යාච්ඤාව අවසානයේ රතු පෙට්ටියට දමා දේව මෑණියන් වෙත භාර දෙනු ලබන අවස්ථාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ විශේෂ නියෝගයක් කියවනු ලැබුවා. එයින් සැදැහැවතුන් දැනුවත් කරනු ලැබුවේ, එදින තම ලිපි රතු පෙට්ටිය තුලට දැමීමේ අවස්ථාව දර්ශන දෙව් මැදුර තුල සිදු කිරීමට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විශේෂ අවසරයක් ලබා දී ඇති බවයි.

 

ඒ විශේෂ අවසරය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් සැදැහැවතුන්ට හිමි වූයේ, 2019 ජුලි මස 27 වෙනි දිනට නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජේසු බිළිදුන් ද සමඟින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වීම සිහිපත් කරන 42 වන වර්ෂ පූර්ණයෙදී, එතුමියගෙන් ගලා එන ආදරයේ සුවද වූ ආකර්ෂණීය පිච්ච මල් සුවද, එදින පැමිණ සිටි සියලුම සැදැහැවතුන්ට ද නොඅඩුව විද ගෙන එතුමියගේ මවු සෙනෙහසට තුරුළු වී, එතුමිය වෙත ලියා ගෙන පැමිනි ඔවුන්ගේ එකම ඉල්ලීම ඔප්පු කිරීමට අවස්ථාව සලසා දීමටයි.

 

මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකි වන්නේ 2019 ජුලි මස 27 වෙනි දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශන දේව මන්දිරය තුළ පිච්ච මල් සුවද විහිදී පැතිරුණ දෙව් මවු ප්‍රතිමාව සහ සැදැහැවතුන් මහත් බැතියෙන් දෙව් මවුන්ගේ ස්වර්ගීය සුවඳ විඳගනිමින්, දෙව් මවුන්ට යාච්ඤා කරමින්, ඔවුන්ගේ එකම ඉල්ලීම රතු පෙට්ටියට දමා දෙව් මවුන් වෙත බාර කරනු ලබන අන්දමයි