පසුගිය ජනවාරි 17 වෙනි දින පානදුර, ආලෝකා වැඩිහිටි නිවාසයේ දී අතිනත ගනු ලැබූ ජාඇල රංග ප්‍රසාද් සහ සදුනි දිලීකා තරුණ යුවලගේ මංගල දේව මෙහෙය පවත්වමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණෝ නව යුවල අමතා අවවාද දෙමින් අවධාරණයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ, ඇදට වඩා කෑම මේසයත් පුටු දෙකත් බලවත් බවයි.

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමක් අනුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන් විසින් කරනු ලැබූ දේශණයකට සවන් යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ රංග සහ සදුනි තරුණ යුවල පානදුර, ආලෝකා වැඩිහිටි නිවාසයේ දී අතිනත ගෙන, එහි වෙසෙන මහළු දෙමාපියන් වෙත සිය මංගල භෝජනය අඩුවක් නොමැතිවම පිළිගන්වා සිය යුග දිවිය ආරම්භ කිරීමට තීරණය කරනු ලැබුවා. එදින ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන් ද පානදුර ආලෝකා වැඩිහිටි නිවාසය වෙත ගොස් නව යුවල අතිනත ගන්වා ආශිර්වාද කරනු ලැබුවා.

 

සිය දරුවන්ගේ සෙනෙහසින් දුරස්ථව හුදකලාව ජීවත්වන මේ වියපත් අසරණ මාපියන් ද නව යුවලගේ නෑදෑයන් සමගින් මංගල දේව මෙහෙයට සහභාගි වූ අතර ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා නව යුවල අමතා, යහපත් යුග දිවියක් සදහා අවවාද රැසක් තේරුම් කර දෙමින් පවසා සිටියේ, මෙතැන් සිට දෙදෙනා ගෙදර සිටිය දී දෙදෙනාම එකට එක්කාසුව කෑම අනුභව කල යුතු බවයි. අද බොහෝ ගෙවල්වල කෑම කන්නේ රූපවාහිනිය ඉදිරිපිට බවත්, තවත් තැන්වල පරිඝනකය ඉදිරිපිට බවත්, තවත් ගෙදරක ජංගම දුරකතනය ක්‍රියා කරවමින් කෑම ගන්නා බවත් පැවසූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණෝ, එවැනි ස්ථානවල ඒ උදවිය කෑම ගන්නේ රූපවාහිනිය සමග, නැත්නම් පරිඝනකය සමග, නැතහොත් ජංගම දුරකතනය සමග බව පැවසූ අතර, නමුත් රංග පුතා සහ සදුනි දුව මෙතැන් පටන් ආහාර ගත යුත්තේ එකට එක්කාසුව, එකම කෑම මේසයක බව ප්‍රකාශ කරනු ලැබුවා.

 

බොහෝ ගෙවල්වල කෑම මේසයක් ඇතත් එයට කවරයක් දමා ආරක්ෂා කරමින් අමුත්තන් පැමිණිවිටක පමණක් කෑම මේසයේ කවරය විවෘත කර අමුත්තන්ට පමණක් කෑම මේසයේ ආහාර ගැනීමට සලස්වා අනික් දිනවල ගෙදර උදවිය තැන් තැන්වල ආහාර ගැනීම ඉතා නරක පුරුද්දක් බවත් පැවසනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා නව යුවලට අවධාරණයෙන් කියා සිටියේ නව යුවලට අනිවාර්‍යයෙන්ම කෑම මේසයක් සහ පුටු දෙකක් තිබිය යුතු බවත්, කෑම මේසයත් පුටු දෙකත් ඇදට වඩා බලවත් බවයි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේ ආශිර්වාදය සමගින් යුග දිවිය ආරම්භ කරනු ලැබූ රංග ප්‍රසාද් සහ සදුනි දිලීකා නව යුවල ආලෝකා වැඩිහිටි නිවාසයේ ජීවත්වන මහළු දෙමාපියන් අසූවකට පමණ තෑගි ද සමගින් මංගල භෝජනය පිළිගන්වා අනතුරුව එහිම එක්තැන්ව ඇද මතම දිවි ගෙවන අසරණ මහළු මා පියන් සිටින ස්ථානය වෙත ඇවිදගෙන ගියේ ශුද්ධෝත්තම අපොස්තලික පියාණන් ද සමගයි. තම උපදෙස් අසා ඒ අනුව ක්‍රියා කල නව යුවල සමගින් උන්වහන්සේ ද මේ සියල්ලකට සහභාගි වූයේ මහත් සතුටිනි. මේ ඡායාරූප ඒ අවස්ථාව සම්බන්ධයෙනුයි