පසුගිය අප්‍රියල් 16 දින රාත්‍රී 9.45 ට මෙම වචන පෙල මගේ ෆේස්බුක් ගිණුමේ මම සටහන් කලෙමි. එය දුටු කීප දෙනෙක්ට ම මා කියන්නේ කවුරුන් ගැනදැයි තේරුම් ගැනීමට හැකියාව ලැබී තිබුණත්, රට පුරා ඇදිරි නීතිය ඇති වෙලාවක මේ හමුවීම කෙසේ සිදුවූවා දැයි තේරුම් ගැනීමට නොහැකි වී තිබුණි. තවත් බොහෝ දෙනෙකුට මෙය තේරුම් ගැනීමට නොහැකි වී තිබුණ අතර කීප දෙනෙක් ම මට දුරකතනයෙන් අමතා රට පුරා ඇදිරි නීතිය ඇති වෙලාවේ, මට මුණගැසුන ජීවිතයේ වටිනාමකෙනා කවුරුදැයි විමසීය. ඒ සියල්ලන් වෙනුවෙන් ඒ පිළිබද තොරතුරු හෙලිකල යුතු යයි මම සිතූ නිසා, මෙලෙස ඒ සොදුරු අවස්ථාව පිළිබදව සටහන් කරමි.

 

පසුගිය අප්‍රියල් 16 වෙනි දින රාත්‍රී 8.30 ට පමණ, මුළු දිවයින පුරා ඇදිරි නීතිය පනවා තිබිය දී, මීගමු කොළඹ පාරේ සීදූව ප්‍රදේශයේ ATM ස්ථානයකින් මුදල් ලබාගෙන ආපසු මාගේ මෝටර් බයිසිකලයට නගින්නට සූදානම් වන විටම වාහනවලින් තොර මීගමු කොළඹ පාරේ, කොළඹ පැත්තට තරමක වේගයෙන් ගිය මෝටර් රථයක්, ආපසු පසුපසට ධාවනය කර මා අසල නැවැත්වීය. මෝටර් රථය දකිනවිටම මම හදුනා ගත්තෙමි. මෝටර් රථය තුල සිටියේ ඒ අවස්ථාවේ කොළඹට යමින් සිටි මා ජීවිතයේ වටිනාම උත්තමයාය. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාය. රටේ පවතින සෞඛ්‍ය නීතීන් සහ මසකට ආසන්න කාලයක් පුරා පවතින ඇදිරි නීතිය නිසා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත යාමට හැකියාවක් නැත. ඒ අතරේ නොසිතූ මොහොතක, නොපැතූ විලසින් මහමග අද්දර දී මා දැක, මා හදුනාගෙන, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මා වෙත පැමිණීම, මා කෙලෙස විස්තර කරන්නද?

 

මෝටර් රථයේ වීදුරුව පහත දමාගෙන විනාඩි දහයක් පමණ වේලාවක් උන්වහන්සේ මා සමගින් කතා කලේ, සුපුරුදු හාස්‍ය රසය ද මුසු වූ ප්‍රිය වදන් රැසකින්ය. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී උන්වහන්සේව දකිනවාට වඩා ඒ එදා හමුව සුන්දරය. මුළු ලොවම නිහඩ වී ඇති, වෙනදාට ජනාකීර්ණව පැවතියත්, ඇදිරි නීතිය නිසා පාළුවී තිබුණ කොළඹ-මීගමු මහ පාර අයිනේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමෙකු සමග ටික වේලාවක් කතා කරන්නට ලැබීමෙන් අත්වූ මානසික සුවය නිසාම, ගෙදර ගිය ගමන්, රාත්‍රී 9.45 ට පමණ මගේ සතුට මා ලියා පල කලේ, ‛‛ලෙහෙසියෙන් දකින්න බැරි, ලෙහෙසියෙන් කතාකරන්න හම්බෙන්නෙ නැති, ජීවිතයේ වටිනාම කෙනෙක් මුණගැසුනම දැනෙන සතුට’’ කියාය. එය එසේමය.

 

සුරේන් චතුරංග ප්‍රනාන්දු,
සීදූව.