පසුගිය සෙනසුරාදා (ජූලි 14) දින සවස හාස්කම් යාච්ඤාවට සහභාගි වීම සදහා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ගොස් සිටි බැතිමතුන්ට අසන්නට ලැබුනේ ඔවුන් මවිතයටත්, සතුටටත් පත්කරන නිවේදනයකි. එනම් නිර්මල කන්‍ය මරිය තුමියගේම ඉල්ලීම පරිදි ඉදිකරනු ලැබූ දර්ශණ දෙව් මැදුර එතුමියට භාරදෙනු ලබන අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස බැතිමතුන් මවිත කරවන යමක් දර්ශණ දෙව්මැදුර තුල දී දැක ගැනීමේ දුර්ලභ වාසනාව බැතිමතුන්ට හිමි වන බව එම නිවේදනයෙන් කියවුනි. එපමණක් නොව මෙය නිර්මල කන්‍ය මරිය තුමියගෙන්ම හිමි වන සුවිශේෂී වාසනාවක් බවද එම නිවේදනයෙන් වැඩි දුරටත් කිය වුනි.

 

‛‛මා ආදර දරුව, මෙම ස්ථානයෙහි මා නමට කුඩා දෙව්මැඳුරක් ඉදිකරන්න. එය මගේ උතුම් ආශාවකි. එවිට මෙම දේව මෙහෙයන්ට සහභාගි වන අයට තවත් බහුල වරප්‍රසාද දානය කිරීමට පොරොන්දු වෙමි’’ යි නිර්මල කන්‍ය මරිය මාතාවෝ පවසනු ලැබුවේ ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී යි. නිර්මල මරිය මාතාවෝ අද ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමාණන් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් අමතා එලෙස පවසනු ලැබූහ. ජේසුස් ස්වාමින් වහන්සේ මේ ලෝකයට දර්ශණයවී පත්කරනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමා උන්වහන්සේයි.

 

ලොව විවිධ ප්‍රදේශයන්හි දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ, මෙතෙක් කිසියම් ස්ථානයක් හදුන්වා දී, එම ස්ථානයෙහි එතුමියගේ නමට දෙව්මැදුරක් තනන ලෙස ඉල්ලා ඇත්තේ පස්වතාවක් පමණි. පස්වැන්න ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවෙන් වන අතර, එතුමිය එම ඉල්ලීම දැනුම් දුන්නේ, සිය පුත්‍රයාණන් මෙලොවට දර්ශණය වී පත්කරනු ලැබූ දෙවන අපොස්තුළුතුමාණන් වන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් වෙතයි.

 

නිර්මල කන්‍ය මරිය මාතාවෝ ඉල්ලා සිටි ලෙසින් ම, ඉල්ලා සිටි ස්ථානයේ ම ඉදිකරනු ලැබූ අභිනව දෙව්මැදුර අගෝස්තු 11 වෙනි දින සවස 6 ට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ සුරතින් ආසිරි ගන්වා දෙව් මවුන්ට පුද දී, දර්ශණ දෙව්මැදුරේ දොරගුළු විවර කරනු ඇත.

 

නිර්මල කන්‍ය මරිය මාතාවෝ ද එදින දර්ශණ දෙව්මැදුර තුලදී සුවිශේෂී ප්‍රාතිහාර්යයක් පෑමට බලාපොරොත්තුව සිටින්නීය. පසුගිය ජූලි 14 වෙනි සෙනසුරාදා මේ අසිරිමත් පුවත කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී නිවේදනය කරනු ලැබූ අතර, එතැන් සිට සෙනසුරාදාවන් පහක් මේ අසිරිමත් සිදුවීම නව දර්ශණ දෙව්මැදුර තුල දී ජනතාවට දැක ගැනීමට හැකිවනු ඇතැ යි ද නිවේදනයෙන් කියවුන අතර, නමුත් එහි ප්‍රධානතම සහ විශේෂිතම දිනය වන්නේ අගෝස්තු 11 වෙනි සෙනසුරාදායි.

 

මෙම සිදුවීම කුමන් දැ යි බොහෝ දුරට ඉදිරි සෙනසුරාදාවක සවස හාස්කම් යාච්ඤාව අවස්ථාවේ දී නිවේදනය කරන බව දැනගන්නට ඇත.

 

නිර්මල කන්‍ය මරිය මාතාවෝ බොහෝ හාස්කම් පාමින් බැතිමතුන්ට සරණය වන්නා වූ අද මහා හාස්කම් සිද්ධස්ථානයක් බවට පත් වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වූ යේ, සියල්ල කල හැකි දෙවියන්වහන්සේගේ මෑණියන් බව දන්නා බැතිමතුන් මෙම නිවේදනයත් සමග අමන්දානන්දයට පත් වී සිටිති.