නිර්මල කන්‍ය මරිය තුමියගේ මේ ශුද්ධවු ප්‍රතිමාව ලෝකයේ ඇති එකම ප්‍රතිමාවයි. කුමක් නිසා මේ මරිය තුමියගේ ප්‍රතිමාව ලෝකයේ ඇති එකම ප්‍රතිමාව බවට පත්වී තිබෙනවාද? ඒ ප්‍රධාන කරුණු දෙකක් නිසයි. පළමුව, මෙම ප්‍රතිමාව නිර්මල කන්‍ය මරිය තුමිය එතුමියගේ සුරතට ගනු ලැබූ ලොව ප්‍රථම සහ එකම දෙව් මවු ප්‍රතිමාවයි. දෙවෙනුව, මැටියෙන් සාදා ඇතත්, නොකඩවා පිච්ච මල් සුවඳ පැතිරෙන ලොව එකම දෙව් මවු ප්‍රතිමාවයි. මෙම ශුද්ධවු දෙව් මවු ප්‍රතිමාව දැකබලාගෙන එයින් පැතිරෙන පිච්ච මල් සුවඳ විඳ ගැනීමේ වාසනාව 2017 නව වසර උදාවත් සමගම බැතිමතුන්ට හිමි වූයේ, ශ්‍රී ලංකාවේ දී, නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ ප්‍රථම සහ එකම සිද්ධස්ථානය වන, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී යි. මේ මහා පෘතුවිය මත අද ජීවත්වන එකම අපොස්තුළුතුමා වන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් වහන්සේ වැඩ සිටින්නේ ද, මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ යි.

 

නිර්මල කන්‍ය මරිය මවු තුමිය, මෙම සිද්ධස්ථානයේ දී විසිතුන් වතාවක් දර්ශණය වී තිබෙනවා. එයින් එක් අවස්ථාවක දී, එතුමිය මෙම ප්‍රතිමාව, එතුමියගේ ම, සුරතට ගෙන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත ආපසු භාර දුන්නා. මේ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරීමේ ආරම්භය එයයි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සතු අති පූජනීය වස්තූන් අතර එකක් වන්නේ, ආශ්චර්‍යමත් ලෙස පිච්ච මල් සුවඳ පැතිරෙන මේ දෙව් මවු ප්‍රතිමාවයි. නිර්මල කන්‍ය මරිය තුමියගේ මේ ආශ්චර්‍යමත් ප්‍රතිමාව බොහෝ හාස්කම් ඇති ප්‍රතිමාවක්. මෙම ආශ්චර්‍යමත් දෙව් මවු ප්‍රතිමාව විටින් විට ජනතාවට දැක ගැනීමටත්, ප්‍රතිමාව අසලට පැමිණ, එයින් විහිදී පැතිරෙන පිච්ච මල් සුවඳ විඳ ගැනීමටත් අවස්ථාව සලසා දෙනු ලබනවා.

 

2016 වර්ෂය අවසන් වී, 2017 නව වසරට ආසිරි පැතීමේ, නව අවුරුදු මංගල දිව්‍ය පූජාවට සහභාගි වීම සඳහා, 2016 දෙසැම්බර් 31 වෙනි දින රාත්‍රියේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණ සිටි බැතිමතුන්ට, දිව්‍ය පූජාවෙන් පසුව, මේ ආශ්චර්‍යමත් ප්‍රතිමාව වෙත පැමිණ, ආශ්චර්‍යමත් ප්‍රතිමාවෙන් පැතිරෙන පිච්ච මල් සුවඳ ආඝ්‍රාහණය කිරීමට, විශේෂ අවස්ථාවක් සලසා දෙනු ලැබුවේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝයි. නව අවුරුද්දක උදාවත් සමග බැතිමතුන් ලද මෙම ආශිර්වාදවත් අවස්ථාව ගැන, නව අවුරුදු දිව්‍ය පූජා මෙහෙයට පැමිණ සිටි බැතිමතුන් උද්දාමයට පත් වුනා.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ, අලංකාර මලින් සරසා තනා තිබූ මණ්ඩපයක තැන්පත් කර තිබූ කන්‍ය මරිය මවු තුමියගේ ආශ්චර්‍යමත් ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ විහිදී පැතිරෙත් දී, ශ්‍රද්ධාවෙන් ඇලලී ගිය සැදැහැවතුන් ආශ්චර්‍යමත් ප්‍රතිමාව අසලට පැමිණ, ආශ්චර්‍යමත් ප්‍රතිමාවෙන් පැතිරෙන පිච්ච මල් සුවඳ ආඝ්‍රාහණය කරමින් දෙව් මවුන්ට යාච්ඤා කිරීමට ද අමතක කලේ නැහැ.

 

මෙම ආශ්චර්‍යමත් දෙව් මවු ප්‍රතිමාව හමුවේ, දෙව් මවුන් වෙතින් අයැදිනු ලබන ඉල්ලීම් සඳහා බැතිමතුන් ලබා ඇති වරප්‍රසාදයන් ද බොහෝමයි.

 

පිච්ච මල් සුවඳ පැතිරෙන මේ ලෝකයේ ඇති එකම අසිරිමත් දෙව් මවු ප්‍රතිමාව දැක ගැනීමට ලැබෙන මීළඟ අවස්ථාව උදාවන්නේ කවදාටදැයි බැතිමතුන් මහත් බැතියෙන් බලා සිටිනවා.

 

කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ ස්ථාපිත පිච්ච මල් සුවඳ පැතිරෙන ලොව එකම ආශ්චර්‍යමත් දෙව් මවු ප්‍රතිමාව අසලට පැමිණි බැතිමතුන් ආශ්චර්‍යමත් ප්‍රතිමාවෙන් පැතිරෙන පිච්ච මල් සුවඳ ආඝ්‍රාහණය කරමින් දෙව් මවුන්ට යාච්ඤා කල අයුරු මෙහි ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි