2019 නව වසරට ආසිරි පැතීමේ දිව්‍ය පූජා මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ පෙර අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනි දින රාත්‍රී 11.45 ටයි. නව අවුරුදු උදාවත් සමගින් රැස්ව සිටි සියල්ලන්ටම නව අවුරුදු සුභ පැතුම් පිරිනැමූ, අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණෝ, රැස්ව සිටි සැදැහැවතුන් අමතා සිය දේශණයේ දී ප්‍රකාශ කරනු ලැබුවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය බොහෝ ප්රතිහාර්යයන් සිදුවන සිද්ධස්ථානයක් බවත්, මේ රැස්ව සිටින්නන් ඊට හොදම සාක්ෂි කරුවන් බවත්, නමුත් ශුද්ධෝත්තම අපොස්තලික පියාණන් ද ක්‍රිස්තුස් වහන්සේ ද බලාපොරොත්තු වන, නොම්මර එකේ නියම ප්රාතිහාර්යයන් වන්නේ මිනිස් සිත වෙනස් වීම බවත්ය.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැදුර තුල පවත්වනු ලැබූ නව අවුරුදු ආසිරි දිව්‍ය පූජා මෙහෙයට සහභාගි වීම සදහා පැමිණ සිටි සැදැහැවතුන් දර්ශණ දෙව්මැදුර තුලත්, සිද්ධස්ථාන භූමියේත් රැස්ව සිටි අතර, ඔවුන් අමතා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා වැඩි දුරටත් කියා සිටියේ, මනුෂ්‍යයකුගේ සිත වෙනස්වීමෙන්, ටිකෙන් ටික කෙලෙස් අඩුවේනම්, ඒ තැනැත්තා ක්‍රමයෙන් ස්වර්ග රාජ්‍යයට සුදුසුකම් ලබන බවයි.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සැදැහැවතුන් අමතා මෙලෙසින් ද ප්‍රකාශ කල සේක.
ප්‍රිය දරුවෙනී, පසුගිය නත්තල් සතියේ අන්තර් ජාලයේ ගිණුමක තිබුනාවූ සටහනක් මගේ හුඟක් හිත ගත්තු නිසා මං එහි මුද්‍රිත පිටපතක් අරගෙන ආවා ඔබ ඉදිරියේ කියවන්ඩ. මේක සඳහන් කරලා තිබුනේ සුරේන් චතුරංග මහත්මයා. මෙන්න මේකයි ඔහුගේ සටහන. 2018 නොවැම්බර් 20 දිනය සහ 2018 දෙසැම්බර් 25 දිනයන් මට විශේෂ දින 2 ක්. නොවැම්බර් 20 කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වාසය කරන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ධර්ම දේශනාවට සවන් දෙන්න මට අවස්ථාව ලැබුනා. එදා ඒ ධර්ම දේශනාව ආරම්භේදීම උන්වහන්සේ පැහැදිලි කර දුන්නේ අප දෙවි මහෝත්තමයාණන් උගන්වා ඇති ශුද්ධවු බයිබලයේ සඳහන් මංගල භෝජනයක් සඳහා ආරාධනා කළ යුත්තේ කොයි ආකාරයේ පුද්ගලයන්ටද යන්නයි. උන්වහන්සේගේ ධර්ම පණිවිඩයට සවන් දුන් එදා මට ඒ කාරණාව මගේ ජීවිතයේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වුනා. ඒ දේ මම අද ඉටු කරගත්තා. අද මේ නත්තල් දවසේ සීදුව ප්‍රදේශයේ පවත්වාගෙන යන සමාධි වැඩිහිටි නිවාසයේ අද දින උදය, දවල් සහ රාත්‍රී ආහාරය ලබා දීමට මට පුළුවන් වුනා. ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ඉගැන්වීමකට සවන් දී ජේසු තුමා ඉගැන්වූ පරිදි කටයුතු කිරීමට හැකි වීම ගැන මා ගොඩාක් සතුටු වෙනවා. ඒවගේම අප ආදර ජේසුස් වහන්සේත් මාගේ මේ කටයුත්ත ගැන ප්‍රීතියෙන් පසුවනවා ඇති. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමෙනි, අපට ජීවත් වීමට හරි මාර්ගය පෙන්වා දෙනවාට ඔබවහන්සේට ස්තූතියි. මේකයි සටහන.
ප්‍රිය දරුවෙනී, මේ සිද්ධස්ථානය හුඟාක් ප්‍රසිද්ධ ප්රාතිහාර්යයන් සිදුවන සිද්ධස්ථානයක්. නිර්මල මරිය තුමී දර්ශනය වුන, ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වුන, දර්ශන දෙව්මැදුර තුලයි අද මේ දිව්‍ය පූජාව, මේ නව අවුරුදු දිව්‍ය පූජාව, සිද්ධ කරන්නේ. මෙහි සිදුවී ඇති ප්රාතිහාර්යය වලට සාක්ෂි ඔයගොල්ලෝ. නමුත් මම හිතන, මම පතන, ක්‍රිස්තුස් වහන්සේ හිතන, ක්‍රිස්තුස් වහන්සේ පතන නියම ප්රාතිහාර්යය තමයි මේ මිනිසාගේ සිත වෙනස් වීමේ ප්රාතිහාර්යය. ඒවා තමයි නොම්බර එකේ ප්රාතිහාර්යය. මේ විදිහට ධර්මය අහලා මිනිස්සුන්ගේ හිත වෙනස් වෙනවනම් මෙහෙම වෙනස් වුනහම, මෙහෙම වෙනස් වෙද්දි, ඒ වෙනස් වීම තමයි මිනිසා ක්‍රමයෙන් ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලා, ස්වර්ගීය මාවතට පිවිසිලා ස්වර්ගයට යාමට සුදුසුකම් ලබන තත්ත්වයට එන්නේ. බලන්ඩ එදා නොවැම්බර් 20 වෙනිදා පැවැත්වු ධර්ම දේශනාවට සහභාගි වෙලා යුවලක් තමන්ගේ විවාහ මංගල උත්සවය වැඩිහිටි, අසරණ, සමාජයෙන් වෙන් වෙලා, කොන් වෙලා, දරුවෝ අත හැරලා, දරුවෝ අම්මා තාත්තා කොහේ ඉන්නවද දන්නෑ. අම්මා තාත්තා දරුවෝ ගැන දන්නෑ. අම්මා තාත්තා දරුවන්ගෙත් දරුවන්ගේ විවාහයක් ගැන දකින්ඩත් නැති තැනක තමන්ගේ විවාහ මංගල උත්සවය සිද්ධ කළ යුතුයි කියලා දෙදෙනෙක් එක හිතක් ඇති කර ගන්න එක ප්රාතිහාර්යයක් නෙවෙයිද? අන්න ඒවා ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ ප්රාතිහාර්යය. බලන්ඩ මේ නත්තල් දවසේ ඔක්කොම දෙනා කද්දි බොද්දි, මේ සුරේන් චතුරංග කියන තරුණයා මොකක්ද කළේ? මුළු දවසෙම, උදේට, දවල්ට, රෑට අර කොන් වෙලා, අසරණ වෙලා, පැත්තකට තල්ලු වෙලා, මහළු වෙලා ජීවිතේ් සන්ධ්‍යා සමය ගෙවන අම්මලා තාත්තලා රැසකට කන්ඩ බොන්ඩ අවශ්‍ය දේවල් දුන්නා. මේ කිව්ව පිරිසට වඩා, ඒ කියන්නේ සුරේන් චතුරංග මහත්තයාවයි, මේ නව යුවලවයි, මේ අයට වඩා, මේ තුන්දෙනාට වඩා, මේකෙන් ගොඩාක් සන්තෝෂ වෙන්නේ මම. ඊටත් වඩා සන්තෝෂ වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ. මේගොල්ලෝ මගේ අපොස්තුළුවරය ආලෝකමත් කරනවා. ඒගොල්ලෝ කියනවා, ඔබවහන්සේ අපිට ක්‍රිස්තුස් වහන්සේ උගන්නපු දේ කියලා දුන්නා. ක්‍රිස්තුස් වහන්සේ මෙහෙම කරන්ඩ කියලා තියෙනවා කියලා ඔබවහන්සේ අපට පැහැදිලි කළා. ඔබවහන්සේට ස්තූතියි මේ විදිහට අපට මග පෙන්නනවට. මෙන්න අපි ඒක කරනවා. ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේ උගන්නපු කාලෙදි, උන්වහන්සේගෙන් ඔය දේ අහගත්තු අයවත් ඕක කළාද මම දන්නෙ නෑ. එහෙම දෙයක් බයිබලයේ සඳහන් වෙන්නෙත් නැහැ. මෙන්න මේවා තමයි ප්රාතිහාර්යය. රෝගීන් සුවපත් වෙච්ච ඒවා, නැතිවී ගිය දෙයක් සම්බ වෙච්ච ඒවා, මෙවැනි දේවල් නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ ප්රාතිහාර්යය. ඒවත් ප්රාතිහාර්යය තමයි. නමුත් ඒවා ස්වර්ගයට යාමට සුදුසුකම් ලබන්න, සුදුසු පුද්ගලයෝ බවට ඒවයින් පත්වෙන්නේ නෑ. දැන් ඔබ ඉල්ලූ දෙයක් ලැබුනයි කියන්නේ, ඒ ලබාගත්තු කෙනා එවෙලෙ මරණෙට පත්වුනොත් එයා ස්වර්ගයට යයිද? එයාගේ විශ්වාසයත්, ඊට වඩා මරිය තුමීගෙත්, ජේසුස් ස්වාමින් වහන්සේගෙත් අනන්ත වූ කරුණාවත් නිසයි ඒක ලබා ගන්නේ. පැහැදිලිද මං කියන දේ? ඒ පුද්ගලයා තුල ඉල්ලීමේ විශ්වාසය, මරිය මව ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ මැදිහත් වීම, ඒ දෙපලගේ අනන්ත කරුණාව, ඒ නිසා එය ලබා ගන්නවා. දැන් යම් යම් අවස්ථා වල, මම කියලත් අහලත් තියෙනවා. හදිසියේ දැන් ඔබ මරණයට පත් වුනොත්, ඔයගොල්ලෝ අතරින් කී දෙනෙක් ස්වර්ගයට යනවද කියලා. ඔය පිහිට ලබපු කිසි කෙනෙක් අත උස්සලා නෑ. ඒගොල්ලොත් දන්නවා අපිට මේ පිහිට ලැබෙන්නේ, අපි පව්කාරයෝ අපි මේවට සුදුස්සෝ නෙමේ, නමුත් අප තුල දෙවියන් කෙරෙහි විශ්වාසයක් තියෙනවා, උන්වහන්සේ කිව්ව විදිහට අපි ජීවත් වුනේ නැති වුනාට, අපිට විශ්වාසයක් තියෙනවා බොහෝ දුරට. ඊටත් වඩා දෙවියන්ගේ අනන්ත අප්‍රමාණ දයා කරුණාව හේතුකොටගෙනත් මෙම සිද්ධස්ථානය මහිමයට පත්වීම සඳහාත් ලබා ගන්නා දේවල්. නමුත් මනුෂ්‍යයෙකුගේ හිත වෙනස් වෙනවා කියන එක හිතේ කෙලෙස් ටික ටික ටික ටික අයින් වෙනවා කියන්නේ ඒ තැනැත්තා ස්වර්ගය ලබන්ඩ ක්‍රමක්‍රමයෙන් සුදුසු බවට පත් වෙනවා. මේ විදිහට සුදුසු වුනොත් තමයි සුදුසුකම ලබලා මෙලොවදීම ස්වර්ගය ලබා ගැනීමේ පූර්ණ සුදුසුකම ලබන අවස්ථාව. ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙන්නේ. අන්න ස්වර්ග රාජ්‍යයේ සියලු දේව දූතයන් හොරණෑ ශබ්ද කරනවා කියලා ශුද්ධවු බයිබලේ සඳහන් වෙනවා. එයින් අපට උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා ඒක ඒ තරම් ඉහල අනර්ඝ අවස්ථාවක්ය, සිද්ධියක්ය කියලා. මම කිව්ව අර තරුණයා මේ නත්තල්දා කරපු සිද්ධිය ගැන අද බොහොම සුළුවෙන් අපි හිතමු. නත්තල් දවසේ කාටද ඔය වැඩේ කරන්න පුළුවන්? මහළු නිවාසෙකට ගිහිල්ලා උදේටයි, දවල්ටයි, රෑටයි කෑම දෙනවා. ඕක දැන් හිතෙන්ඩ එක්තරා විදිහකට ඒ පුද්ගලයගේ හිතේ තණ්හාවේ අඩුකමක් එන්ඩ ඕනා. අනුකම්පාවක් කියන දේ හිතේ ජනිත වෙන්ඩ ඕනා. එය සිද්ධ වුනොත් තමයි නත්තල් දවසේ එය කරන්ඩ හිතෙන්නේ. දැන් ඔයගොල්ලන් නත්තල් දවසේ කොහොමද ගත කෙරුවේ? ඕවා කිසි දෙයක් කෙරුවේ නැහැනේ. ඔහොම දෙයක් හිතුනෙත් නැහැනේ. නමුත් මේ තරුණයාට ඒක හිතුනා. නත්තල් දවසේ හැම කෙනෙක්ම කාලා බීලා සතුටු වෙන දවසේ මම ගිහිල්ලා අර අසරණ, කොන් වෙච්ච ඒ මිනිස්සුන්ව සතුටු කරන්ඩ ඕනා කියලා. ඒක බොහොම පින් වැඩක් වගේම, අන්න එවැනි සිතුවිල්ලක් ඇති වෙන තත්ත්වයට හිත් පත්කරන්ඩ තමයි මං මේ උත්සාහ දරන්නේ. එතකොට තමයි පුද්ගලයා පාපයෙන් නිදහස් වෙන්නේ, පාපයෙන් ඈත් වෙන්නේ, පාපයෙන් දුරස් වෙන්නේ.
2019 නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජාව අවස්ථාවේ දී සැදැහැවත් ජනතාව නව වසරේ ප්‍රථම ආහාරය ලෙසින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ සුරතින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගත් අවස්ථාවයි මෙම ඡායාරූප මගින් ඔබට දකින්නට ලැබෙන්නේ