අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 57 වන ජන්ම දිනය යෙදී තිබුනේ 2014 පෙබ්‍රවාරි 2 වෙනි දිනයටයි. මේ නිමිත්තෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පාලක කමිටුව සංවිධානය කර තිබූ උපන් දින සැමරුම මහත් අභිමානවත් ලෙස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පැවැත්වුණි.

 

මීට 57 වසරකට පෙර අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශූද්ධෝත්තම අපොස්තුළු තුමා උපත ලැබුවේ පෙබ්‍රවාරි 1 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 ටයි. එම අවස්ථාව සිහිපත් කරමින් මෙවර උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජාව ආරම්භ වූයේ පෙබ්‍රවාරි 1 වෙනිදා රාත්‍රී 11.30 ටයි.

 

මංගල දිව්‍ය පූජාව පැවැත්වීම සඳහා රන්වන් පැහැති පූජා ඇඳුමින් සැරසී ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ඉතා සන්සුන් ගමනින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු උයනට සැපත් වූ අතර, මැදියම් රැය නොතකා රැස්ව සිටි සැදැහැවතුන්ගෙන් සිද්ධස්ථාන භූමිය පිරී තිබෙනු දැකගත හැකි විය.

 

දිව්‍ය පූජාව පිදෙන අතරමග හරියටම මධ්‍යම රාත්‍රී 12 ට සිද්ධස්ථානය පුරා සීනු නාද වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා උත්පත්තිය ලැබූ මොහොත සිහිගන්වමිනි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනත්, සිද්ධස්ථාන භූමියත් විවිදු බුබුළු යොදාගෙන ඉතාමත්ම චමත්කාර අන්දමින් සරසා තිබුණි.

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශූද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 57 වන ජන්ම දින මංගල පූජාවේ විවිධ අවස්ථා කීපයක් මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි