‛‛පිස්සු වැටුණු සිතට නිවැරදි තීරණයක් ගන්න පුළුවන් වෙයිද? බැහැ. එතනින් පස්සෙ එවැන්නෝ බලාපොරොත්තු වෙන්නේ, ඔවුන් හිතන විදිහට ම අනික් කෙනාත් හිතනවා දකින්නටයි. ඔවුන්ගේ තීරණයට අනික් අයද කැමති වෙනවා හෝ කීකරු වෙනවා දකින්නටයි. ඔවුන් සිතන විදිහට ම අනික් අය ද සිතනවා දකින්නටයි. මෙවැන්නෝ මධ්‍යස්ථව සිතන්නට දන්නෙත් නැහැ, ඒකට කැමතිත් නැහැ. ඇත්ත නැත්ත සොයා බලන්නට දන්නෙත් නැහැ, ඊට කැමතිත් නැහැ. දෙමාපියන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් අසා පිළිඅරගෙන සිතේ නිදන් කරගෙන සිටින දේට වඩා වෙනස් දෙයක් ඇසුන සැනින් පිස්සුව මතුවෙනවා. තමන් ම සාදාගත්තු ද්‍රෂ්ඨියේ පදනම හැර අන් සියළුදේට පහර ගසා විනාශ කරනවා හැර නිදහස්ව කල්පනා කල හැකි, ‛නිදහස් සිතක්’ ඔවුන්ට නැහැ.’’

 

සූම් තාක්ෂණය ඔස්සේ සිය බැතිමතුන් අමතා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඉහත සඳහන් පරිදි ප්‍රකාශ කරනු ලැබුවේ 2021 ජූලි 17 වෙනි සෙනසුරාදා රාත්‍රියේ දී යි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ සිට බැතිමතුන් සමග ජපමාල උච්ඡාරණයට සහභාගි වූ උන්වහන්සේ සියළු බැතිමතුන් වෙනුවෙන් දෙව් මවුන් අමතා විශේෂ යාච්ඤාවක් ද කරනු ලැබුවා. දෙස් විදෙස් බැතිමතුන් රැසක් හමුවේ ජපමාලය උච්චාරණය කරනු ලැබුවේ, කටුනායක අප ස්වාමිදූගේ ජීවමාන සංඥාවන් විහිදෙන අසිරිමත් ප්‍රතිමාව අභියස සිටයි. අලංකාර මලින් සැරසූ පුදසුනක් මත දෙව් මවු ප්‍රතිමාව ස්ථාපිත කරතිබූ අතර, බැතිමතුන් පරිත්‍යාග කරනුලැබූ දර්ශණ ඉටිපහන් රැසක් දෙව් මවු ප්‍රතිමාව පාමුළ දල්වා තිබුණා.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සූම් තාක්ෂණය ඔස්සේ බැතිමතුන් අමතා කරනු ලැබූ සම්පූර්ණ කතාව මෙසේය.

 

‛‛මා ප්‍රියාදර දරුවෙනි, අදත් සූම් තාක්ෂණය ඔස්සේ ඔයගොල්ලො මට සවන් දෙනවා. ලොව පුරා, රට පුරා ඇතිවී තිබෙන වසංගත තත්වය ඔස්සේ අපි කවුරුත් ප්‍රවේශමින් කටයුතු කරන්නට ඕනා. රජය මගින් නීති පනවනතෙක් බලාගෙන සිටින්නේ නැතුව, අපගේ ආරක්ෂාව අප විසින් ම සලසා ගනිමින්, මේ වගේ අවස්ථාවක ඔයගොල්ලෝ එක එක්කෙනා හැසිරිය යුත්තේ කොහොමද, ක්‍රියාකල යුත්තේ කොහොමද කියන එක බුද්ධිමත්ව කල්පනා කරලා එදිනෙදා කටයුතු කරන්නට දක්ෂ වෙන්න.

 

මා ප්‍රියාදර දරුවෙනි, මේ වෙලාවේ මා ඉදිරිපිට, ගෙවල්වල සිට මට සවන් දෙන විවිධ මට්ටමේ වයස් කාණ්ඩවල සිටින ඔයගොල්ලෝ අතරේ දැනට අවුරුදු දශක ගණන් වයස් මට්ටම්වල සිටින අය ඉන්නවා. දශකයක් කියන්නේ අවුරුදු දහයක්.

 

ප්‍රථමයෙන් මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්ණයක් අසන්නට කැමතියි. ඔයගොල්ලෝ අතරින් කාටහරි පිස්සු හැදිලා තියෙනවද? සමහරු මම දිහා අමුතුවෙන් වගේ බලනවා. මම අහන්නේ බොහොම පැහැදිලි ප්‍රශ්ණයක්. ඔයගොල්ලෝ අතරින් කාටහරි පිස්සු හැදිලා තියෙනවද?………… ඔක්කොමදෙනා අමුතුවෙන් වගේ බලාගෙන ඉන්නවා. මම තව ටිකක් විස්තර ඇතිව ප්‍රශ්ණය අහන්නම්. ඔයගොල්ලෝ අතරින් කාටහරි එකවරක් නොවෙයි, දෙතුන්වරක් හෝ කිහිප වරක් ම පිස්සු හැදිලා තියෙනවද? සමහර විට පිස්සන්ට ප්‍රතිකාරකරන රෝහලකට ඇතුලත් කලේ නැතිවෙන්න පුළුවන්. තවමත් පිස්සුවෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් මට කියන්න, ඔයගොල්ලන්ගෙන් කාටහරි පිස්සු හැදිලා තියෙනවද?

 

ඔයගොල්ලෝ මා දිහා බලාගෙන ඉන්නවා. මොකක්ද මේ ප්‍රශ්ණයෙ තේරුම කියලා හිතනවා වෙන්න ඇති. මම කියන්නම්. මම දැන් උදාහරණ මතක් කරන්නම්. එතකොට හොඳට කල්පනා කරන්න.

 

ඊයේ මම යාළුවෙකුගේ උපන් දින උත්සවයකට ගියා. හොඳ සුප් එකක් හදල තිබුණා. ඒක හරිම රසයි, මට පිස්සු හැදුනා. මම දෙපාරක්ම බිව්වා. ඒ රස තාමත් මතකයි. ආයෙත් බොන්න ඇත්නම් කියලා හිතෙනවා………. ඔන්න දැන් සමහර අයට මතක් වෙනවා. සමහර අයට හිනත් යනවා. සමහර අයට දැන් තේරෙනවා මේ කොහාටද එන්නෙ කියලා. මම දැන් කිව්ව දේ ඔයගොල්ලන්ට වෙලා නැද්ද? ඔයගොල්ලෝ කාටවත් ඒ විදිහට කියලා නැද්ද?

 

ඊළඟට, ඔයගොල්ලෝ කාත්එක්ක හරි මෙහෙම කියලා නැද්ද? අද උදේ මම බස්එකේ එනකොට මම ලඟින්ම එක්කෙනෙක් වාඩිවෙලා හිටියා. එක්කෙනා කවුද කියලා හිතා ගන්නකෝ. එයා ලඟ හරිම සුවඳයි. ඇඟට මොනවා ගාල තිබුනද මන්දා. ඒ සුවඳට මට පිස්සු හැදුනා. තවමත් නහයට දැනෙනවා. ඔයවගේ අත්දැකීමක් තියෙනවද?

 

දැන් තවත් උදාහරණයක්. අද උදේ රේඩියෝඑකේ ලස්සන සිංදුවක් ගියා. හරියට මටම කිව්වා වගේ. ඒ සිංදුවට මට පිස්සු හැදුනා. මම මේ ඉන්ටර්නෙට් එකේ සිංදුව හොයනවා. තව තවත් අහන්න ආසයි. ඔය විදිහට කාඑක්ක හරි කිව්වා මතකද?

 

ඔන්න තවත් උදාහරණයක්. අපේ අල්ලපු ගෙදරට ඊයෙ කට්ටියක් ආවා. ඒගොල්ලන්ගේ නෑදෑයො කට්ටියක් වෙන්න ඇති. එක්කෙනෙක් හිටියා. මුහුණ රෝසමලක් වගෙයි. හරිම ලස්සනයි. ඒ මුහුණ දැක්කහම මට පිස්සු හැදුනා. දැන් මම නිතරම අල්ලපු ගෙදර දිහා බලනවා, ඒ කට්ටිය ආයෙත් එයිද කියලා. ආයෙත් එයාව දකිනකම් මට පිස්සු වගෙයි. ඔයදේම නූනත්, ඔවැනි දෙයක් කාටවත්හරි කියලා තියෙන බවක් මතකද? ඔන්න සමහර අයගේ මුහුණේ හිනාවක් ඇඳෙනවා. ඒ උත්තර තමයි.

 

ඉතින් දැන් මට කියන්න. ඔයගොල්ලන්ට පිස්සු හැදිලා නැද්ද? දැනුත් මතක්වෙනකොට පිස්සු හැදෙනව වගේද? සමහර පිස්සු තාමත් ඇති. දිවට දැනුන රස නිසා නේද සුප් එකක් බීලා පිස්සු හැදුනෙ? අර ලඟින් වාඩිවෙලා හිටපු එක්කෙනාගෙ විලවුන් සුවඳ නහයට දැනිලා නේද ඊළඟට පිස්සු හැදුනෙ? රේඩියෝ එකෙන් ප්‍රචාරය වුන සිංදුවේ මිහිර කනට දැනුන නිසා නේද තවත් පිස්සුවක් හැදුනෙ? අල්ලපු ගෙදරට ආපු එක්කෙනාගෙ ලස්සන ඇහෙන් දැකලා නේද ආයෙත් පිස්සු හැදුනෙ? දැන් ටිකකට කලින් මම ඔයගොල්ලන්ගෙන් අසුවා, ඔයගොල්ලන්ට කවරදාක හරි පිස්සු හැදිලා තියෙනවද කියලා. එතකොට මා දිහා පුදුමයෙන් බැළුවා, මොකක්ද මේ ප්‍රශ්නයෙ තේරුම කියලා. ඉතින් දැන් මොකද කියන්නෙ? පිස්සු හැදිලා නැද්ද?

 

තරහගන්න එපා, මම මෙහෙම ප්‍රශ්ණයකුත් අහන්නම්. ඔය සමහර පිස්සු සනීපකරගන්න ගත්ත ක්‍රියාමාර්ග නිසා දැන් හොඳටම පිස්සු හැදිලා නැද්ද? ඔන්න සමහර අයට ලාවට ලාවට හිනා යනවා. ඇත්ත තමයි කියලා හිතෙනවා නේද?

 

සමහර වෙලාවට ඔබේම යාළුවො, ඔබට කියපු අවස්ථා ඇති පිස්සු වැඩ කරන්න එපා කියලා. සමහරු ඉන්නවා කරන්නෙම පිස්සු වැඩ. මෙන්න මේ පිස්සු ගතිය නිසා නිවැරදි දේ හඳුනා ගන්නට බැරුව යනවා. සත්‍ය දේ දකින්නේ අසත්‍ය හැටියට. දොඩම් ගෙඩියක්, ටෙනිස් බෝලයක් වගේ දකින්න පුළුවන්. වට්ටක්කා ගෙඩියක්, පාපන්දුවක් වගේ දකින්න පුළුවන්.

 

සත්‍ය ප්‍රකාශ කරන මිනිසෙකුව හඳුනා ගන්නට බැරුව නින්දා කරන්නේත්, සමච්චල් කරන්නේත් එක්තරා අකාරයක මානසික රෝගයක් හෙවත් එක්තරා ආකාරයක පිස්සුවක් නිසා කියලා මම අහලා තියෙනවා. මෙන්න මේ පිස්සුවට මනෝවිද්‍යාවේ සේඩිසම් (Sadism) කියලත් කියනවලු. ඔය පිස්සුව, ඔය අමාරුව හැදුනොත්, ඒ මානසික රෝගියා නිතරම බලන්නෙ අනික් අයට හිංසා කරන්න. වචනයෙන් වගේම ක්‍රියාවෙන්. අනික් අයට සමච්චල් කරනවා, අපහාස කරනවා, නින්දා කරනවා, ශාරීරික හිරිහැර කරනවා, සමහර විට මරණයට පවා පත්කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ ඔයවගේ මානසික රෝගීන් ගොඩක් ඉන්න ඇති කියලා මට හිතෙනවා. ඔයගොල්ලන්ට මතකද ක්‍රිස්තුස් වහන්සේ කියල තියෙනවා, ‛‛දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍යය ප්‍රකාශ කල මිනිසෙකු වන මා මරන්නට ඔබ සොයන්නනහු ය’’ කියලා. (ජුවාම් 8/40) ශුද්ධවූ බයිබලයේ ජුවාම් අපොස්තුළුතුමා ලියා තිබෙන සුවිශේෂ ග්‍රන්ථයේ අට වෙනි පරිච්ඡේදයේ ඔය වැකිය තියෙනවා. කියවලා බලන්නකෝ. හතලිස් වෙනි වගන්තිය. ඉතින් සේඩිසම් (Sadism) කියන මානසික රෝගයෙන් පෙලෙන කෙනෙකුට, සත්‍ය අසත්‍ය විදිහට ඇසුනහම තත්වය මොකක් වෙයිද? ඒ ටික තමා ක්‍රිස්තුස් වහන්සේට සිද්ධ වුනේ. මෙහෙම අය දැනුත් ඉන්න පුළුවන්, ප්‍රවේශමෙන්. සමච්චල් කිරීමෙන්, නින්දිතලෙස අපහාස කිරීමෙන්, අන්අයෙකුගේ සිතට පීඩනයක් එල්ල කිරීම මෙන්ම පහර දීමෙන්, මරණයට පත්කිරීමෙන් අන්අයෙකුට ශාරීරික පීඩනයක් ඇති කිරීම වැනි කෲරතර ක්‍රියාවන් මගින් යමෙකුගේ සිතට මිහිරි සතුටක් දැනෙනවානම් ඒ තැනැත්තා සමාජය තුල ජීවත් නොවිය යුතු මානසික රෝගියෙක්. එවැන්නෙකුගෙන් සමාජයට සිදුවන විපත්තිය අති භයානකයි.

 

දැන් බලහගෙන ගියහම දිව නිසා, නාසය නිසා, ඇස නිසා, කන නිසා, බලාගෙන ගියහම මේ මුළු ශරීරය නිසාම ඔයගොල්ලන්ට පිස්සු හැදෙනවා. මේ නිසා සිතට ඇතිවන පිස්සුව සුවපත් කරගන්නට ලෙහෙසි වෙන්නේ නැහැ. සිත පිස්සු වැටෙනවා. ඔය වෙලාවට තමයි සමහරු කියන්නෙ, ‛‛මගේ හිත දැන් පිස්සු වැටිලා තියෙන්නෙ’’ කියලා. සිත විසිරිලා ඉගිලිලා ගිහින්. එක්තැන් කරගන්නට බැහැ. රසයට, හක්‍ෂට, සුවඳට, දුටු දෙයට වශී වෙලා. සිත පිස්සු වැටිලා, මේ වශීවුන දේවල් ලඟට ගන්න, තමාට ම සතු කරගන්නට දරන්නා වූ විවිධ උත්සහයන් නිසා, අමාරුවෙ වැටෙන්නත් පුළුවන්. ඉතින් මේ පිස්සු වැටුණු සිතට නිවැරදි තීරණයක් ගන්න පුළුවන් වෙයිද? බැහැ. එතනින් පස්සෙ එවැන්නෝ බලාපොරොත්තු වෙන්නේ, ඔවුන් හිතන විදිහට ම අනික් කෙනාත් හිතනවා දකින්නටයි. ඔවුන්ගේ තීරණයට අනික් අයද කැමති වෙනවා හෝ කීකරු වෙනවා දකින්නටයි. ඔවුන් සිතන විදිහට ම අනික් අය ද සිතනවා දකින්නටයි. මෙවැන්නෝ මධ්‍යස්ථව සිතන්නට දන්නෙත් නැහැ, ඒකට කැමතිත් නැහැ. ඇත්ත නැත්ත සොයා බලන්නට දන්නෙත් නැහැ, ඊට කැමතිත් නැහැ. දෙමාපියන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් අසා පිළිඅරගෙන සිතේ නිදන් කරගෙන සිටින දේට වඩා වෙනස් දෙයක් ඇසුන සැනින් පිස්සුව මතුවෙනවා. තමන් ම සාදාගත්තු ද්‍රෂ්ඨියේ පදනම හැර අන් සියළුදේට පහර ගසා විනාශ කරනවා හැර නිදහස්ව කල්පනා කල හැකි, ‛නිදහස් සිතක්’ ඔවුන්ට නැහැ.

 

සිත නිදහස් නැහැ. සිත විසිරිලා. හොඳට හදා ගත්තොත් ඔබට ඉන්න, ලඟින්ම ඉන්න, හොඳම මිතුරා ඔබගේ සිතයි. දැන් ලඟ ඉන්නවද? එහෙමත් නැත්නම් කොහේ හරි ගිහිල්ල ද? පිස්සන්ට බෙහෙත් කරන රෝහලකද දන්නෙත් නැහැ. ඔය හැමතැනම දුව පනින සිත, ඔබ තුල නවත්වා ගන්නට පුළුවන් නම්, එය තමයි ඔබ ලබන ‛අධ්‍යාත්මික විමුක්තිය’. මෙය ලබාගන්නා තුරු, ඔයගොල්ලෝ නැවත නැවත ජීවිත කාලයන් ආරම්භ කරමින්, පිස්සු හැදී හැදී ජීවත් වෙනවා.

 

ඉතින් විවිධ ජීවිත කාලයන් තුල මේ හැදෙන පිස්සු නිසා ඔයගොල්ලට මොකක්ද වෙන්නෙ? ඔයගොල්ලෝ කෙලෙසෙනවා. මෙන්න මේ නිසා මේ පිස්සු කෙලෙස්වලින් නිදහස් වීම තමයි, ඔබ ලබන ‛අධ්‍යාත්මික විමුක්තිය’. මේ නිදහස ලබාගන්නා තුරු, ඔයගොල්ලෝ නැවත නැවත ජීවිත කාලයන් ආරම්භ කරමින්, පිස්සු හැදී හැදී ජීවත් වෙනවා. මේ අවස්ථාවේ මම කැමතියි ඔබට මතක් කරන්නට, ක්‍රිස්තුස් වහන්සේගේ වදන් කීපයක්. ‛‛මිනිසා කෙලෙසනු ලබන්නේ ඔහු තුළින් නිකුත් වන දෙයින් ම ය. ඇතුළතින්, එනම්, මිනිස් හදවතින්, නපුරු චේතනා, කාම රාග, සොරකම්, මිනී මැරුම්, සල්ලාලකම්, තණ්හා, දුෂ්ඨකම්, වංචා, හිරිඔතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය සහ මෝහය නික්මෙයි. මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලෙසනු ලැබේ.’’ (මාක් 7/ 20-23) ශුද්ධවූ බයිබලයේ මාක් තුමාගේ සුවිශේෂයේ සත්වෙනි පරිච්ඡේදය කියවලා බලන්නකෝ. විසි වෙනි වගන්තියේ සිට විසි තුන්වෙනි වගන්තිය දක්වා මම ඔය කියපු ටික සඳහන්ව තියෙනවා.

 

දැන් හොඳට පැහැදිලියි නේද? මොනවද පැහැදිළි? මේ කෙලෙස් කියන්නෙ එක්තරා ආකාරයක මානසික රෝග. මේවා උත්සන්න වුනහම පිස්සු හැදෙනවා, හොඳට ම පිස්සු හැදෙනවා. හොඳට ම පිස්සු හැදෙන්න පෙර තත්වයට තමයි කියන්නේ, මානසික රෝග හෙවත් මානසික ව්‍යාධීන් කියලා. ඔබටත් ඔය කිව්ව කෙලෙස් ලැයිස්තුවේ, මොන මොන කෙලෙස් ද තියෙන්නෙ කියලා සොයා බලන්න. උත්සන්න නොවී, තමා ම, තම සිත ගැන අවධානයෙන් සිට මේ කෙලෙස්වලින් ගැළවුනොත්, ඔබගේ සියළු ආකාරයේ කුඩා ලොකු පිස්සු හැදීම් වලින් නිදහස් වෙනවා. එතකොට දිව නිසාවත්, නාසය නිසාවත්, ඇස නිසාවත්, කන නිසාවත්, ශරීරයේ කුමන හෝ අවයවයක් නිසාවත් ඔබ පිස්සු වැටෙන්නේ නැහැ. ඒ සියල්ලක ම ඇත්ත තත්වය, යථා තත්වය තේරුම් ගන්නවා.

 

සුප් එකේ රස විතරක් නෙමෙයි, ඒක උයපු භාජනත් දැන් සෝදලා ඉවරයි කියලා වැටහෙනවා. අර සින්දුව දැන් ප්‍රචාරය වෙලා ඉවරයි, කොච්චර හෙව්වත්, නැවත නැවත ඇසුවත් එච්චර තමයි කියලා දැනගන්නවා. එතකොට අර සුවඳ. ආ ඒ සුවඳත් මේ වෙනකොට හේදිලා ගිහින්, දැන් සමහරවිට ඩහදිය ගඳත් ඇති කියලා තේරුම් ගන්නවා. එතකොට අර දැක්ක ලස්සන එක්කෙනා. ආ එයත් දැන් මේකප් හෝදලා, ලස්සන අවලස්සන වෙලත් ඇති කියලා හිතෙනවා, ඒ එක්කම හම රැලි වැටුන මුහුණක් ඇති තමන්ගේ ම ආච්චිව හෝ සීයාව දැකලා හිතෙනවා, ආ මේගොල්ලොත්, ඉස්සර තරුණ කාලෙ අර ලස්සන එක්කෙනා වගේ ඉන්න ඇති කියලා.

 

ප්‍රිය දරුවෙනි මේ විෂය සම්බන්ධව තව කියන්නට දේවල් ගොඩක් තියෙනවා. නමුත් මේ කිව්ව ටික කල්පනා කර බලන්න. ඔයගොල්ලන්ගේ පූර්ණ අධ්‍යාත්මික විමුක්තිය සඳහා, මේ සියළු බැඳීම් වලින් නිදහස් වීම සඳහා, අතින් අල්ලාගෙන සිටියත්, සිතින් නිදහස්වීම සඳහායි, මම ඔබට අද දින කතා කලේ.

 

ප්‍රිය දරුවෙනි, පිංවත් දරුවෙනි, නිරන්තරයෙන් මම ඔබගේ අභිවෘද්ධිය පතා කටයුතු කරන අපොස්තුළුතුමෙක්. ඔයගොල්ලෝ මා පිළිබඳව තබා ඇති විශ්වාසය මම අගය කරනවා. ඔයගොල්ලන්ට පිනක් තිබුණා, මාව නිවැරදිව හඳුනා ගන්නට. මගේ වචන කෙරෙහි විශ්වාසය තබන්නට. එයට හේතු නැතිවන්නට බැහැ. හේතුගැන මම කියන්නට යන්නේ නැහැ. පින රැකගන්න. සමහර අයට පින ඇත්තේ ටික කාලයකට පමණයි. පින කියන්නේ ගෙවිලා යන දෙයක්. කෙලෙස් මතුවෙලා බොහෝ දෙනෙකුගේ පින යටපත් කරනවා. සමහර අයට එහෙම වෙලා තියෙනවා. ඔයගොල්ලෝ මටත්, මගේ කටයුතු සඳහාත් ශක්තියක් වෙමින්, ඒ වගේම මේ ඉන්න දෙමව්පියන්, තමන්ගේ දරුවන්ට ද ඒ මග පෙන්වමින්, මගේ ම ආශිර්වාදය ලබමින්, මගේ ම ඉගැන්වීම් අනුව ජීවත්වන්නට සියළු පහසුකම් සලසාදෙන ආකාරය දකින විට මට ඇත්තට ම සතුටුයි. මට පෙර ජීවත් වූ අපොස්තුළුතුමන්ලාට ඔයගොල්ලො වගේ පිරිසක් නොසිටීම ගැන මම දුක් වෙනවා. ඉතින් ඒකත් ඒ අපොස්තුළුතුමන්ලාගේ පින වෙන්නට ඇති කියලයි මම හිතන්නෙ.

 

දැන් ඔයගොල්ලන්ට මහන්සිත් ඇති. සාවධානව සවන් දුන් ඔයගොල්ලෝ සියළු දෙනාටම මම හදවතින් ම ආදරයෙන් ආශිර්වාද කරනවා. පරෙස්සමින් ඉන්න. ඔයගොල්ලන්ට බොහොම ස්තූතියි. පිස්සු හදාගන්න එපා කියලත් ආයෙත් මතක් කරනවා. ස්තූතියි බොහොම ස්තූතියි’’

 

සූම් තාක්ෂණය ඔස්සේ තම බැතිමතුන් ඇමතා කතා කරන්නට පෙර ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඔවුන් සමග දෙව් මවුන්ට ජපමාලය පුද කරනු ලැබූ අතර, එම අවස්ථාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ තනා තිබූ විශේෂ පුදසුනක් මත, කටුනායක අප ස්වාමිදූගේ ජීවමාන සංඥාවන් විහිදෙන අසිරිමත් ප්‍රතිමාව තැන්පත් කර තිබූ අයුරු පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි.