ලොවපුරා පැතිර පවත්නා මහා වසංගතය අප ආසන්නයේ, අප වටා පැතිරෙමින් පවතින බවත්, කුඩා දරුවන් ද මේ වන විට මේ වසංගතයට ගොදුරු වෙමින්, දෙමාපියන් ද මහත් අසරණ තත්වයකට පත්කර තිබෙන අතර ජාතිය, ආගම, කුලය, තරාතිරම, මේ කිසිවක් නොතකා දිනපතා මිනිස් ශරීර අළු බවට පත්වන්නේ, ජීවිතය ගැන අපූරු පාඩමක් කියාදෙමින් බවත් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මේ මහා පොළවේ සාරයෙන් හැදී, වැඩෙන ශාකයන්ගේ ගුණවත් බව මිනිසාට උගන්වමින්, සියළු ශාකයන් අප ආරක්ෂා කරගත යුත්තේ, මිනිසාගේ ම ආරක්ෂාවට බව ද මේ වසංගතය අපට උගන්වන බව පැවසූ සේක.

 

පසුගිය සෙනසුරාදා (2021 සැප්තැම්බර් 4) දින සවස සූම් තාක්ෂණය ඔස්සේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිට බැතිමතුන් සමග ජපමාල උච්චාරණයට සම්බන්ධ වෙමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඉහත සඳහන් පරිදි ප්‍රකාශ කරනු ලැබුවේ, උන්වහන්සේ හා සමග සම්බන්ධ වී සිටි දෙස් විදෙස් බැතිමතුන් හමුවේ, නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වෙත විශේෂ යාච්ඤාවක් ද උච්චාරණය කරමිනුයි.

 

අපොස්තලික මාධ්‍ය ජාලයේ, සමාජ මාධ්‍ය ඒකකය මගින් මෙම විශේෂ අවස්ථාව සංවිධානය කර තිබුණේ, අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ උපදෙස් පරිදියි.

 

මෙම අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවීමේ අවස්ථාව ලබා දී තිබුණේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ඉගැන්වීම් ඔස්සේ තම ජීවිත හැඩගස්වා ගැනීමට උත්සහ දරමින් ජීවත්වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට අයත් දෙස් විදෙස් බැතිමතුන් වෙනුවෙනුයි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ, මේ සඳහාම සකස් කර තිබූ විශේෂ පුදසුනක් මත, නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ අසිරිමත් ප්‍රතිමාව තැන්පත් කර තිබුණි. අලංකාර මලින් සරසා තිබූ පුදසුන ඉදිරියේ දෙව් මවු ප්‍රතිමාව පාමුළ ජපමාල ඉටිපහන් දල්වා තැන්පත් කර තිබූ අතර, එම ජපමාල ඉටිපහන් බැතිමතුන් විසින් පරිත්‍යාග කර තිබුණි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ තනා තිබූ පූජාසනය මත නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ආශ්චර්‍යයවත් ප්‍රතිමාව තැන්පත් කර තිබූ අයුරු මෙම ජායාරූප මගින් ඔබට දැකිය හැකි අතර 2021 සැප්තැම්බර් 4 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සූම් තාක්ෂණය ඔස්සේ තම බැතිමතුන් සමග ජපමාලය උච්චාරණය කරනු ලැබූ අවස්ථාවේ දී මෙම ඡායාරූප ලබා ගන්නා ලදී