නිර්මල කන්‍ය මරිය මාතාවෝ මේ අවස්ථාව වන විට විසිතුන් වතාවක් දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, අද ජනතාව අතර හාස්කම් සිද්ධස්ථානය ලෙසින් ප්‍රචලිත වී ඇත්තේ මෙම සිද්ධස්ථානය තුල නිරන්තරයෙන් සිදුවන ප්‍රාතිහාර්‍යයන් නිසාය. නිර්මල කන්‍ය මරිය තුමියගේම පූර්ණ අනුග්‍රහයෙන් සිදුවන මේ ප්‍රාතිහාර්‍යයන් තුලින් පොදු ජනතාව කිසිදු භේදයකින් තොරව ලබා ගන්නා අප්‍රමාණ සැනසීම පෙන්වා දෙන්නේ මරිය තුමිය අදටත් සියළු දනන් වෙත මවක් මෙන් ආදරය දක්වන බවයි. සිය දරුවන්ගේ දුක් වේදනා කඳුළු හමුවේ එතුමියගේ නිර්මල හදවත තෙත් වන බවයි.

 

නිර්මල කන්‍ය මරිය මවු තුමියව සියැසින් දැක ගැනීමට වාසනාව ලද අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් ලියනු ලැබූ හාස්කම් යාච්ඤාව මුලින්ම උච්ඡාරණය කරනු ලැබුවේ 2012 ඔක්තෝම්බර් 8 වෙනි සෙනසුරාදා සවසයි. එදා මේ යාච්ඤාව මුල් වරට උච්චාරණය කල දිනයේම ප්‍රාතිහාර්‍යක් සිදු විය.

 

ගර්භාෂය ද සමගින් ශල්‍යකර්මයකින් ඉවත් කල යුතු යයි වෛද්‍යවරුන් නියම කර තිබුණ 19 හැවිරිදි පාසැල් සිසුවියගේ කුසය තුල තිබූ ගෙඩිය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී, ඇය සම්පූර්ණයෙන්ම සුවපත් වීම එදා සිදුවූ ප්‍රධානතම ප්‍රාතිහාර්‍යයයි.

 

2012 ඔක්තෝම්බර් 8 වෙනි සෙනසුරාදාට පසුව නැවතත් මෙම හාස්කම් යාච්ඤාව උච්චාරණය කරනු ලැබුවේ 2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදායි. එදා සිට මේ දක්වා දැන් සෑම සෙනසුරාදාවකම සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, එම අවස්ථාවේ සිද්ධස්ථානයට රැස්වී සිටින සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් මෙම හාස්කම් යාච්ඤාව උච්චාරණය කරනු ලබයි.

 

2012 ඔක්තෝම්බර් 8 වෙනි සෙනසුරාදා දිනයට පසු, 2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස නිල් මැණික් රත්තරන් ඔටුන්න පළඳවනු ලැබූ දෙව් මවු ප්‍රතිමාව අභියස සිට මෙම හාස්කම් යාච්ඤාව උච්චාරණය කර, මේ දක්වා දැන් සෑම සෙනසුරාදාවකම සවස මේ හාස්කම් යාච්ඤාව උච්චාරණය කරන විට ඊට සහභාගිවන සැදැහැවතුන් ලබා ගන්නා පිහිට සත්තකින්ම පුදුමාකාරය, නියම ම ප්‍රාතිහාර්‍යයන්ය.

 

2017 නොවැම්බර් 11 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානයට රැස්ව සිටි සැදැහැවතුන් අතරින් පිරිසකට, සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලට ඇතුළු වී, නිර්මල දේව මෑණියන්ට හාස්කම් යාච්ඤාව උච්ඡාරණය කිරීමට හැකියාව ලැබුණ අතර මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ හාස්කම් යාච්ඤාව උච්චාරණය කරනු ලබන එම අවස්ථාවයි