කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ජීවමාන ප්‍රමාණයේ වූ ප්‍රතිමාව තිස් වසරකට ආසන්න කාලයක් ස්ථාපිතව තිබූ ස්ථානයෙන් ඉවත් කිරීමට පෙර, ජන හදවත් දිනාගත් එම දෙව් මවු ප්‍රතිමාව අභියස 2013 ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා සන්ධ්‍යාවේ ජපමාල උපහාර මෙහෙය පැවැත්වුනේ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙනුයි. මේ සඳහා විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිද්ධස්ථාන භූමියේ දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ රැස්ව සිටි සැදැහැවත් ජනතාව ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් ද සමගින් දෙව් මවුන්ට ජපමාලය උච්ඡාරණය කිරීම ඉතාමත් ගාමිබීර අන්දමින් සිදු කෙරුණා.

 

ඉතාමත් ජනප්‍රිය මරිය බැති ගීයක් වන ‛‛ආවේ මාරිස් තෙල්ලා’’ ගීතිකාව ගැයෙන අතරේ, ජපමාල අතින් ගත් ලොකු කුඩා සැදැහැවතුන් දැල්වූ ඉටිපහන් ද අතැතිව දෙව් මවුන් වෙත, ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ද සමගින් ජපමාලය උච්ඡාරණය කරනු ලැබුවේ මහත් භක්තියකිනුයි. එම අවස්ථාවේ දෙව් මවුන්ගේ ප්‍රතිමාවෙන් ඉතාමත් ප්‍රාර්තිහාර්‍යාත්මක ජීවමාන ලකුණු සැදැහැ ජනතාවගේ දෙනෙතටම පෙනේන්නට වූ නිසා ඔවුන්ගේ බැතිය දෙගුණ, තෙගුණ වී ජපමාලයේ හක්‍ෂ ද සිද්ධස්ථාන භූමිය පුරා රැව් දෙන්නට වුනා.

 

ලොව විවිධ දේශයන්හි දර්ශණය වී ඇති නිර්මල කන්‍ය මරිය මාතාවෝ අපගේ මේ කුඩා දිවයිනේ ද ප්‍රථම වරට දර්ශණය වූයේ වර්ෂ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දිනයි. එදා සිට මේ අවස්ථාව දක්වා විසිතුන් වතාවක් එතුමිය, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වී තිබෙනවා. මීට පෙර දෙව් මවුන් දර්ශණය වූ ප්‍රංශයේ ලූර්දුවත්, ප්‍රෘතුගාලයේ පාතිමාවත් ගැන මේ මොහොතේ යමක් සඳහන් කරන්නට මම කැමතියි. ප්‍රංශයේ දෙව් මවුන් දර්ශණය වූ ලූර්දු සිද්ධස්ථානයේ කොතෙක් දැවැන්ත ගොඩනැගිලි ඉදිවී තිබුණත්, එහිදී මරිය තුමියව දෑසින් දැකගත් බර්නදෙත් තුමිය අද එහි නැහැ. ප්‍රෘතුගාලයේ, පාතිමා සිද්ධස්ථානයේ කොතෙක් දැවැන්ත ගොඩනැගිලි ඉදිවී තිබුණත්, එහිදී මරිය තුමියව දෑසින් දැකගත්, ෆ්‍රුන්සිස්, ලුසී, ජසින්තා නැමැති තිදෙනා අද එහි නැහැ. අද වර්තමානයේ එම සිද්ධස්ථානවලට යන කාටවත්, දෙව් මවුන් දර්ශණය වූ ඒ අය අතුරින් එක් අයෙකු සමගවත් ජපමාලය උච්ඡාරණය කිරීමට හැකියාවක් නැහැ. නමුත් අද අපි හරිම වාසනාවන්තයි. දෙව් මවුන් දර්ශණයවූ ශ්‍රී ලංකාවේ එකම පුදබිම වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දෙව් මවුන් ප්‍රතිමාව අභියස එදින අපි ජපමාලය පුද කරනු ලැබුවේ, මරිය තුමියව දෑසින්ම දැකගෙන, එතුමියගෙන් පණිවිඩ අසාගෙන, එතුමිය සමග කතාබස් කල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා සමගයි.

 

2013 ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන් සමගින් සැදැහැවත් බැතිමතුන්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන පුද බිමේ සිට දෙව් මවුන් වෙත ජපමාලය පුද කරනු ලැබූ ආකාරය මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි