දෙව් මවුන්ගේ විපුල වරප්‍රසාද ලබා ගත හැකි පූජනීය දිනයක් වූ අප්‍රියල් 29 වෙනි ලබන සෙනසුරාදා මෙම දෙව් මවු ප්‍රතිමාවට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් වහන්සේ විසින් නිල් මැණික් සහිත රත්තරන් කිරුළ පලදවනු ඇත

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු නිර්මල කන්‍ය මරිය තුමිය විසිතුන් වතාවක් දර්ශණය වූ පුද බිමයි. ඒ විතරක් නොවෙයි, ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ සිය ස්වර්ගාරෝහණයෙන් පසුව දර්ශණය වී පත් කරනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමාව පත් කිරීම සඳහා, ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වූයේ ද මෙම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී යි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ දර්ශණය වූ මෙම සිද්ධස්ථානය වෙත පැමිණ විශ්වාසයෙන් දෙව් මවුන්ට කන්නලව් කරනු ලැබූ බොහෝ බැතිමතුන් පුදුමාකාර අන්දමින් ලබා ඇති පිහිට නිසාම, ‛‛මරිය තුමීගේ හාස්කම් සිද්ධස්ථානය’’ ලෙස ද අද ජනතාව අතර, මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ප්‍රචලිතව ඇත. මේ සියල්ලක් අතරේ අප ආදර මරිය තුමිය වෙත විශ්වාසවත් දරු දැරියන් වෙත, එතුමිය වෙතින්ම හිමිවන මහත් අනගි අවස්ථාවක් අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස උදාවනු ඇත. ඒ ඔබ ජීවිතයේ දුකින් වේදනාවෙන් අසහනයෙන් පෙලෙන, දේව මෑණියන්ගේම පිහිට තමයි දැන් මට තියෙන්නේ යයි සිතෙන් කියවෙන විසඳා ගත නොහැකි ගැටළු අතරින් ප්‍රධානතම, එක ගැටළුවක් පමණක් එතුමිය හමුවේ තැබීමට ලැබෙන අවස්ථාවයි. නිර්මල කන්‍ය මරිය මවු තුමියව විසිතුන් වතාවක් දැකගෙන, එතුමිය සමගින් කතා කිරීමට ද වාසනාව ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ විශ්වාසයෙන් කන්නලව් කරනු ලබන බොහෝ දෙනෙකු වෙනුවෙන් දෙව් මවුන්ට යාච්ඤා කර, කන්නලවු කර, ලබා දී ඇති පිහිට නිසාම, ‛‛මරිය තුමීගේ හාස්කම් සිද්ධස්ථානය’’ බවට අද මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පත් වී ඇත. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, විසඳා ගත නොහැකි ප්‍රධානතම ගැටළුව දෙව් මවුන් වෙත යොමු කිරීමේ අති විශේෂ අවස්ථාවන් කීපයක් ම මේ වන විට ජනතාවට ලබා දී, විශේෂ වරප්‍රසාද ඔවුන්ට හිමි කර දී බොහෝ දෙනෙකුට පිහිට වී ඇත. එවන් තවත් එක් විශේෂ වරප්‍රසාද අවස්ථාවක් අප්‍රියල් 29 වෙනි දින බැතිමතුනට උදාවනු ඇත. එදින නිර්මල කන්‍ය මරියෝතමාවන් වූ, කටුනායක අප ස්වාමිදූගේ දස අටවන දර්ශණ ප්‍රතිමාව වූ, ..දෙව් මවුන් සමග ජේසු බිළිඳු.. ප්‍රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්ගේ සුරතින් පළඳවනු ලැබීමෙන් පසුව, රන් මිණි කිරුළ පැලඳූ දෙව් මවු ප්‍රතිමාව පාමුළ, ඔබ ජීවිතයේ වේදනාත්මක හෝ අතිශයින්ම අත්‍යවශ්‍යයම ප්‍රධානතම ඉල්ලීම ලිවූ කුඩා කඩදාසියක් තැන්පත් කිරීමට අති විශේෂ වරප්‍රසාද හිමිවන අවස්ථාවක් ලැබෙනු ඇත. මේ සඳහා අප්‍රියල් 29 වෙනි දින ‛‛දෙව් මවුන්ට ඔටුණු පැළඳවීමේ මෙහෙය’’ට පැමිණෙන විට, පෝස්ට් කාඩ් ප්‍රමාණයේ කුඩා කඩදාසි කැබැල්ලක, ඔබට විසඳා ගත නොහැකිව හදවතින් වැලපෙන ඔබගේ ප්‍රධානතම ගැටළුව ලියාගෙන එන්න. තම ගැටළුව ලිවූ පත්‍රිකාව තමා විසින්ම දෙව් මවු පාමුල තැබිය යුතුයි. වෙනත් අයගේ පත්‍රිකා හෝ වෙනත් අයගේ අවශ්‍යතාවයන් ලිවූ පත්‍රිකා රැගෙන ඒමෙන් වලකින්න. එවැනි දේ කිරීම ඔබට ද, වෙනත් අයට ද වරප්‍රසාද අහිමි වී යාමට ඉඩ ඇති අතර, මෙය දෙව් මවුන් වෙත ආදරයෙන්, විශ්වාසයෙන් සහ ගෞරවයෙන් කල යුතු ක්‍රියාවක් වේ.

 

ඔබගේ ප්‍රධානතම ගැටළුව ලිවූ පත්‍රිකා දෙව් මවුන් පාමුල තැන්පත් කිරීමේ විශේෂ වරප්‍රසාදිත අවස්ථාව අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස නිර්මල කන්‍ය මරිය මාතාවන්ට නිල් මැණික් රත්තරන් කිරුළ පළදවනු ලබන සන්ධ්‍යා මෙහෙයේ දී උදාවන අතර, ඊට පෙර ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඔබගේ ප්‍රධානතම ඉල්ලීම ලිවූ පත්‍රිකාව ඔබගේ අතට ගන්නා ලෙස යම් මොහොතක පවසනු ලබන අතර, එවිට උන්වහන්සේ විශේෂ යැදුමක් ඔබගේ ඉල්ලීම වෙනුවෙන් දෙව් මවුන්ට පුදනු ඇත. ඉන්පසුව ඔබගේ පත්‍රිකාව ඔබගේ දෑතින්ම නිල් මිණි රන් කිරුල පැළදූ දෙව් මවු ප්‍රතිමාව පාමුල තැන්පත් කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත.

 

ඔබ දෙව් මවුන් වෙතින් පිහිට ලැබූ පසුව සියළු විස්තර අපට ලියා එවීමට අමතක කරන්න එපා.

 

ස්වර්ගීය අග රාජිණිය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ, ‛‛මුළු විශ්වයේම අග රැජිණ’’ ලෙසින්, අපොස්තුළුතුමෙකුගේ සුරතින් ඔටුණු පැළඳවීමේ සන්ධ්‍යා මෙහෙය සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ දී හෙවත් සිද්ධස්ථාන භූමියේ දී ආරම්භ වන අතර, බැතිමතුන්ව සිද්ධස්ථාන භූමියට ඇතුළු කරගනු ලබන්නේ සවස 5.30 දක්වා පමණක් බව කරුණාවෙන් සලකන්න.