කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු ශ්‍රී ලංකාවේ දී දේව මෑණියන් දර්ශනය වී ඇති එකම සිද්ධස්ථානයයි. මෙම සිද්ධස්ථානයේ දර්ශන දේව මන්දීරය තුල ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිදුණු කන්‍ය මරිය මාතාවෝ 23 වාරයක් දර්ශනය වී තිබෙනවා. මෙම දර්ශන 23 ම සිදුවී ඇත්තේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරිපිටදී යි. එමෙන්ම නිර්මල කන්‍ය මරිය මාතාවෝ ලෝකයට ප්‍රකාශ කිරීමට විවිධ පණිවිඩ රාශියක් ද ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් හට ප්‍රකාශ කර තිබෙන්නේ ද මෙම දර්ශණ දෙව් මැදුර තුලයි.

 

මෙම දර්ශන 23 අතරින්, 1977 ජුලි මස 27 වෙනි දින සිදුවූ එතුමියගේ දස අට වැනි දර්ශනය අති සුවිශේෂි දර්ශණයක් වුණා. එය අති සුවිශේෂී දර්ශණයක් වූයේ, එදින කන්‍ය මරිය උත්තමාවිය, එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිදුන්ව ද හොවා ගෙන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ පෙනී සිටීමයි. එදින සිදුවූ මේ අති සුවිශේෂී දර්ශනය සංකේතවත් කරමින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශන දේව මන්දීරය තුල ප්‍රධාන පූජාසනයට ඉහළින්, නිර්මල කන්‍ය මරිය මාතාවන් එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිදුන් වඩවා ගෙන වැඩ සිටින, අති මනස්කාන්ත ප්‍රතිමාවක් ස්ථාපිත කර තිබෙනවා. මෙම ප්‍රතිමාව දර්ශණ දේව මන්දීරයේ ප්‍රධානතම ප්‍රතිමාව වන අතර, එහි ප්‍රධාන පූජාසනයේ ඉහළින්ම මෙම ප්‍රතිමාව ස්ථාපිතව තිබෙනවා.

 

මෙම 2020 වර්ෂයේ ජූලි 27 වෙනි දිනයේ මෙම භාග්‍යවත් දර්ශණයට, හරියටම වසර 43 ක් සම්පූර්ණ වුනා.

 

මේ අතර 2020 ඔක්තෝම්බර් 3 වෙනි සෙනසුරාදා දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු හා පාවුළු අපෝස්තුළු උයන තුල සියළු කටයුතු සූදානම් කර තිබුනේ, සිරිත් පරිදි සවස 5 ට ජපමාලය උච්චාරණය කිරීම සදහායි.

 

ජපමාල උච්චාරණය ආරම්භයේ දී ම සිදුවන්නේ සැදැහැවතුන් විසින් ජපමාල ඉටිපහන් දැල්වීමයි.

 

සැදැහැවතුන් ජපමාල ඉටිපහන් දල්වන අතරේ දර්ශණ දෙව්මැදුර තුල මහා විස්මිත හාස්කමක් සිදුවෙන්නට පටන් ගත්තා. එනම් දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිත ජේසු බිළිදුන් සමග වූ දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවදක් විහිදී ආ අතර, එම අසිරිමත් සුවද දර්ශණ දෙව්මැදුර පුරාවටත්, මුළු සිද්ධස්ථාන භූමිය සිසාරාත් විහිදී පැතිරෙන්නට වුනා.

 

මේ මහා හාස්කම සිදු වූ දෙවන අවස්ථාවයි මේ. පසුගිය 2019 වසරේ ජූලි 27 වෙනි සෙනසුරාදා දින සවස ද සිරිත් පරිදි සැදැහැවතුන් දෙව් මවුන්ගේ ප්‍රතිමාව පාමුළ ඉටිපහන් දල්වමින් සිටිය දී දර්ශණ දෙව් මැදුර තුල ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවද පැතිරෙන්නට ආරම්භ වුනා.

 

මෙම 2020 වසරේ ඔක්තෝම්බර් 3 වෙනි සෙනසුරාදා දින සවස ද එදා ලෙසින්ම, ජේසු බිළිදුන් තුරුලේ හොවා වැඩ සිටින දෙව් මවු ප්‍රතිමාවෙන් විහිදෙන්නට වූ මිහිරි පිච්ච මල් සුවද විද ගැනීමට සියළු ම සැදැහැවතුන්ට අවස්ථාව සලසා දුන් අතර, සැදැහැවතුන්ට මේ මහා හාස්කම විද ගැනීමට ලද අවස්ථාවේ ඔවුන් සියළු දෙනා අති මහත් බැතියෙන් දෙව් මවු ප්‍රතිමාව පාමුළ දනින් වැටී යාච්ඤා කලා. ඇතැම් සැදැහැවතුන් දර්ශණ දෙව්මැදුර හරහා දණින් ඇවිද ගොස්, පිච්ච මල් සුවද පැතිරෙන දෙව් මවු ප්‍රතිමාව ස්ථාපිත මණ්ඩපයේ පොළව සිපාචාර කරමින් දෙව් මවුන්ට ගෞරවය පුද කරන අයුරු ද දකින්නට ලැබුනා.

 

මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකි වන්නේ 2020 ඔක්තෝම්බර් 3 වෙනි සෙනසුරාදා දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශන දේව මන්දිරය තුළ පිච්ච මල් සුවද විහිදී පැතිරුණ දෙව් මවු ප්‍රතිමාව සහ සැදැහැවතුන් මහත් බැතියෙන් දෙව් මවුන්ගේ ස්වර්ගීය සුවඳ විදගනිමින්, දෙව් මවුන්ට යාච්ඤා කරමින්, දෙව් මවුන්ගේ ප්‍රතිමාව වෙත දර්ශණ දෙව්මැදුර හරහා දණින් යමින්, ඔවුන්ගේ ගෞරවය ද භක්තිය ද දෙව් මවුන් වෙත පුද කරනු ලබන අන්දමයි