නිර්මල කන්‍ය මරිය තුමියගේ පිහිටාධාරය සොයන ජනතාවක් ලොව ඇති වූයේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ පටන්මය. ශුද්ධවූ ලියවිල්ලේ සදහන් වන කානාහි විවාහ මංගල උත්සවය අවස්ථාවේ එහි සිටියවුන් මුහුණ පෑ දුෂ්කර අවස්ථාවේ දී ඒ බව දන්වා පිහිට පැතුවේ එහි සිටි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන් වූ කන්‍ය මරිය තුමිය වෙතිනි. මරිය මව තුලින් ජේසු තුමන් වෙත ඉල්ලීම ඉදිරිපත් කිරීම සාර්ථක වී, වතුර මිදි යුෂ බවට පත් වූ ආකාරය අද ද මුළු ලොව සියළු ක්‍රිස්තියාණි ජනතාව ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි.

 

අදත් නිර්මල කන්‍ය මරිය තුමියගේ පිහිටත් ආධාරයත් සොයන ජනතාව ලොව පුරා විසිරී ඇත. නිර්මල කන්‍ය මරිය තුමියගේ පිහිට පැතීමට ආගම් භේදයක් අවශ්‍ය නැත. කිතුණුවන් ලෙසින් සලකතොත් ඕනෑම කිතුණු සභාවකට අයිති අයෙකුට මරිය තුමියගේ සරණය පැතිය හැකිවේ. අවශ්‍ය වන්නේ දයාබර මරිය තුමිය ඔබට පිහිට වන බවට එතුමිය කෙරෙහි ඇති විශ්වාසය පමණයි.

 

මරිය තුමිය කෙරෙහි මෙවැනි අවංක විශ්වාසයක් ඇති දරුවන් වෙනුවෙන් ලියවුන අති විශේෂ යාච්ඤාවක් මෙම දිනවල කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සෑම සෙනසුරාදාවකම සවස 6 ට, උච්චාරණය කරනු ලබයි. තමන්ට මරිය තුමිය පිහිට වෙතැයි යන අවංක විශ්වාසයෙන් යුතුව මරිය තුමියගේ දයාබර දරුවන් මෙම යාච්ඤාවට විශ්වාසයෙන් යුතුව සහභාගි වී අපමණ පිහිට මරිය තුමියගෙන් ලබාගනිමින් සිටින අතර, ලබාගන්නා පිහිට කොතරම් ද කියතොත් ඒ විස්මිත පිහිට පිළිබදව ලේඛණ ගත කිරීමට නිලධාරිකුව ද මේ වන විට පත්කර ඇත.

 

මෙම බලගතු යාච්ඤාව ලියා ඇත්තේ අපොස්තුළුතුමෙකු විසින් වීම මෙම යාච්ඤාවේ සුවිශේෂී වටිනාකමයි. අපොස්තුළුතුමෙක් විසින් මරිය තුමිය අමතා ලියා ඇති ලොව එකම යාච්ඤාව මේ වන අතර, මෙම යාච්ඤාව අද ජනයා අතර ප්‍රචලිත වී ඇත්තේ ‛හාස්කම් යාච්ඤාව’ ලෙසිනුයි. ජනතාව අතර එලෙසින් ජනප්‍රිය වීමට තරම් මෙම යාච්ඤාවේ බලය තේරුම් ගත හැකියි.

 

මෙම හාස්කම් යාච්ඤාව ලියනු ලැබූ අපොස්තුළුතුමා වන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2017 අගෝස්තු 19 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට රැස්ව ‛හාස්කම් යාච්ඤාව’ උච්චාරණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බැතිමතුන් කණ්ඩායමක් ඉදිරියට පැමිණ වටිනා පණිවිඩයක් ප්‍රකාශ කරනු ලැබූ සේක. උන්වහන්සේ කියි සිටියේ තමන්වහන්සේ ලිවූ හාස්කම් යාච්ඤාව මගින් ජනතාව පිහිට ලබනවා දැකීම ලොකු සතුටක් බවයි. ඊට හේතුව ද හෙළි කල උන්වහන්සේ කිව්වේ ‛‛හේතුව මෙම යාච්ඤාව ලිව්වේ මම යි’’ යනුවෙනි.

 

තවත් හාස්කම් යාච්ඤාවක් ලියන බව පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වැඩි දුරටත් කියා සිටියේ ‛‛මම ලියන මීලඟ හාස්කම් යාව්ඤාව ඉතාමත් ප්‍රභල යාව්ඤාවක්’’ කියාය.

 

නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් තමන්ගේ දෑසින් දැක ගැනීමට පමණක් නොව එතුමිය සමග බොහෝ කරුණු කාරණා කතා කිරීමට ද වරප්‍රසාද ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාට අප වෙනුවෙන් මරිය තුමියට කිව යුතු තවත් ප්‍රභල හාස්කම් යාච්ඤාවක් ලිවීම දුෂ්කර වැඩක් ලෙස අපි නොසිතන්නේ, මරිය තුමිය සමග අදහස් හුවමාරු කරගෙන ඇති අපොස්තුළුතුමෙකු වශයෙන්, මරිය තුමිය ඔබ ගැනත්, මා ගැනත්, ලෝකයේ සියල්ලන් ගැනත් සිතන ආකාරය ගැන වැටහීමක් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සතුව ඇති නිසා ය.

 

නිර්මල කන්‍ය මරිය තුමිය අමතා හාස්කම් යාච්ඤාවක් ලියනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, එම යාච්ඤාව උච්චාරණය කරනු පිණිස 2017 අගොස්තු 19 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්ව සිටි සැදැහැවතුන් අතරින්, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලට ඇතුළු වී හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමේ විශේෂ අවස්ථාව ලැබූ සැදැහැවතුන් කණ්ඩායමක් අමතනු ලැබූ සුවිශේෂී අවස්ථාව යි මෙම ඡායාරූප මගින් ඔබට පෙනෙන්නේ