අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී දර්ශණය වූ අතර, 2017 පෙබ්‍රවාරි 5 වෙනි දිනට, මෙම ප්‍රථම දර්ශණයට වසර 42 ක් සම්පූර්ණ වෙයි. මේ වන විට මරිය තුමී 23 වාරයක් දර්ශණය වී ඇති අතර, මෙම දර්ශණ දැක ගැනීමේ භාග්‍ය ලැබුවේ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ය.
භාග්‍යවත් කන්‍ය මරිය තුමියගේ දර්ශණයන් සිදුවන ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ මෙම දර්ශණයන් සිදුවුනාවු අවස්ථාවලදී රැස්වී සිටි සැදැහැවතුන්ට බොහෝ ආශ්චර්යමත් ප්රාතිහාර්යාත්මක ලකුණු දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවන් උදාවීම එතුමිය වෙතින් ලද විශේෂ වරප්රසාදයකි.
මරිය තුමී කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වූ සෑම අවස්ථාවකදීම මුළු ලෝකයා වෙත දැනුම් දීම සඳහා විවිධ පණිවිඩ රැසක් ප්‍රකාශ කලාය. මේ අතර එතුමියගේ ඇතැම් පණිවිඩ දීර්ඝ වචන මාලාවකින් සමන්විත වේ.
දිනපතා ජපමාලය උච්චාරණය කිරීමේ අවශ්‍යතාවය එතුමිය පණිවිඩ කීපයකින්ම ප්‍රකාශ කර ඇත. ඊට අමතරව ලොව තම දරුකැල යහ මග ගන්වනු සඳහා ද භාග්‍යවත් කන්‍ය මරිය මාතාවෝ විවිධ පණිවිඩ ප්‍රකාශ කර ඇත්තාහ.
1978 ජූලි 1 වෙනිදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී මරිය තුමී දර්ශණය වෙමින්, ‛‛මනුෂ්‍යයා තුල පාපයට ඇති ආශාව එන්ට එන්ටම වැඩිවෙයි’’ කියා ප්‍රකාශ කරනු ලැබුවේ, පාපයට පෙළඹෙන දුර්පරීක්ෂාවන් කෙරෙහි පූර්ණ අවධානයෙන් සිටීමේ වැදගත්කම පෙන්වා දෙමිනි.
‛‛තමන් මනස්ථාප වීමට තරම් පවක් නොමැති ශූද්ධවන්තයන් යයි සිතන අයට වඩා, මනස්ථාප වන්නාවූ පවුකරුවන් ගැන මම සන්තෝෂ වෙමි’’ යනුවෙන් මරිය මාතාවෝ 1981 පෙබ්‍රවාරි 6 වෙනිදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට ප්‍රකාශ කරනු ලැබුවේ, මනුෂයා අතින් සිදුවන පාපයන් නිසි අවභෝධයෙන් තේරුම් ගෙන, ඒවා ගැන බැහැපත්ව මනස්ථාප වී, තව දුරටත් පවු නොකිරීම සඳහා හොඳ සිහියෙන් අප සැම කටයුතු කිරීම එතුමියගේ බලාපොරොත්තුව නිසාය.
මරිය මාතාවෝ අප සැමට දක්වන මාතෘක සෙනෙහස කෙතරම්දැයි කියනවානම් 1986 දෙසැම්බර් 20 වෙනි දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්ව සිටි අති විශාල සැදැහැවතුන් පිරිසක් මධ්‍යයේ, ඔවුන්ට පුදුමාකාර ආශ්චර්යමත් ලකුණු ද දක්වමින්, ඔවුන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ප්‍රකාශකරනු ලැබුවේ, ‛‛දෑසට පමණක් මම නොසිටිනා බව ලෝකයේ දරුවන්ට දැනුනත්, සැමගේම අම්මා ලෙස, සෑම දෙනා දෙස මම බලා සිටිමි’’ කියාය.
ශ්‍රී ලංකාවේ, කටුනායක පිහිටි දෙව් මවුන් දර්ශණය වන ‛‛කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය’’ අද සැබවින්ම මරිය මාතාවන් තම දරුවන් දෙස බලා සිටිනා සිද්ධස්ථානයක් බවට පත්වී ඇත. මෙම සිද්ධස්ථානයේ දේව මෙහෙයන්ට සහභාගි වීමෙන් ජනතාව ලබාගන්නා ප්රාතිහාර්යාත්මක සුවයන් ද, විවිධ පිහිටෝපකාරයන් ද මගින් මරිය මවු සැබවින්ම අප දෙස නෙත් යොමා සිටින බවට කදිම සාධකයකි.
1978 ජූලි 1 වෙනි දින කන්‍ය මරිය වහන්සේ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු පියාණන්ට දර්ශණය වූ අවස්ථාවේදී එතුමියගේ හස්තයට ගනු ලැබූ ජපමාලය පළඳවා ඇති දෙව් මවු ප්‍රතිමාව, මරිය මවු තුමිය සිය හස්තයට ගනු ලැබූ ජපමාලයක් පළඳවා ඇති ලොව එකම දෙව් මවු ප්‍රතිමාවයි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැරණි දර්ශණ දෙව්මැඳුර තුලදී ශුද්ධෝත්තම අපොස්තුළුතුමා එම ප්‍රතිමාවෙන් සැදැහැවතුන්ව ආසිරි ගන්වනු ලැබූ අවස්ථාවන් කීපයක් පහත ඡායාරූප මගින් දැක්වේ