මාස කීපයක් එක දිගට වැඩ කිරීමෙන් වෙහෙසට පත්ව සිටි අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා 2012 ජනවාරි 29 වෙනි ඉරුදින කෙටි විවේකයක් සඳහා නුවරඑළිය බලා පිටත් විය. උන්වහන්සේ සමග අපොස්තලික ලේකම් අශෝක ප්‍රනාන්දු, අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක, අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විශාන් යන මහත්වරු ද විය.

 

ශුද්ධෝත්තම අපොස්තුළු තුමා විවේකයක් සඳහා නුවරඑළිය බලා ගියද, උන්වහන්සේ එහි ගියේ ලියුම් මිටියක් ද රැගෙනය. සතිපතා උන්වහන්සේගේ දෝතට ලිපි රාශියක් පත්වෙයි. සෑම සෙනසුරාදාවකම සවස උන්වහන්සේ සොයා ජනතාව පැමිණෙන්නේ විශාල බලාපොරොත්තුවකින් සහ දැඩි විශ්වාසයකිනි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව සියැසින් ම දුටු අපොස්තුළු තුමෙකි. නිර්මල කන්‍ය මරිය වහන්සේව ද සියැසින්ම දැක ඇති මෙම අපොස්තුළු තුමා, උන්වහන්සේලා ඉදිරියේ මධ්‍යස්ථ වී, ජනතා දුකට පිහිට වන සේක. ජේසු තුමන් ඉදිරියේ ද, නිර්මල කන්‍ය මරිය මාතාවන් ඉදිරියේ ද මධ්‍යස්ථ වීමේ ප්‍රබල හැකියාවක් අපොස්තුළු තුමෙකු සතු බව ක්‍රිස්තු භක්තිකයන්ට අමුතුවෙන් වටහා දිය යුතු කරුණක් නොවෙයි.

 

‛අනේ මගේ දුක දෙවියන්ටවත් පෙනෙන්නේ නැද්ද’ මේ අඳෝනාව කොතරම් දෙනෙකුගේ හදවතින් නිහක්‍ෂවම නැගෙනවාද? ඇතැම් විට දවසකට කීප වරක් මෙසේ දෙවියන්ට දෑත් ඔසවන ජනතාව දෙස ජේසු සමිඳුන්ගේ සහ මරිය මවු තුමියගේ දයාබර දෑස් යොමු කරවීමට මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා සමත් වී සිටියි.

 

අද අප අතර ජීවමානවම වැඩ සිටින මෙම අපොස්තුළු තුමා පොඩි දරුවාගේ සිට උන්වහන්සේගේ වයසටත් වඩා වැඩි මහල්ලා දක්වා සැමටම දයාබර පියෙකි. කිසිදු භේදයකින් තොරව සියල්ලන්ටම ආශිර්වාද කරනු ලබන පොදු පියෙකි. සෑම සෙනසුරාදාවකම සවස විශ්වාසිකයෝ තම ඉල්ලීම් ලිවූ ලිපි මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමාගේ පිංතූරය අභියස ඇති ‛ඉල්ලීම් ලිපි පෙට්ටියට’ දමන්නේ තම වේදනාවන් දයාබර පියෙකුට ලියා යවන දරුවන් මෙනි.

 

මේ බව දන්නා ශුද්ධෝත්තම අපොස්තුළු තුමාද ජේසු තුමන් ඉදිරියේ සහ මරිය මවුන් ඉදිරියේ මධ්‍යස්ථ වී විශ්වාසිකයන්ගේ ඉල්ලීම් ලබා දීමට මහන්සි වෙයි. බොහෝ දිනවල උන්වහන්සේ නිදා ගන්නේ දවසකට පැය දෙකක් හෝ තුනක් වැනි කෙටි කාලයකි.

 

කෙටි විවේකයක් ලබා ගැනීමට උන්වහන්සේ නුවරඑළිය බලා ගිය ද, උන්වහන්සේ වෙත පැමිණෙන විශ්වාසවත් දරුවන්ගේ වේදනාවන් ලිවූ ලිපි මිටියක් ද රැගෙන යාමට අමතක කලේ නැත. දරුවන්ගේ දුක වේදනාව රැගෙන ගිය දයාබර පියෙකු ලෙස උන්වහන්සේ ලිපි කියවමින්, එම ලිපි මත විවිධ සටහන් යොදමින් ද, විටෙක ලිපිවල සඳහන් කරුණු කියවා කල්පනා කරමින් ද සිටිනු අයුරු අපට දැකගත හැකි විය.

 

සැබවින්ම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා මුළු ලොවට ම දයාබර පියෙකි.

 

විශ්වාසවත් දරුවෝ තමන් වහන්සේ වෙත යොමු කරනු ලැබූ ‛ඉල්ලීම් ලිපි’ කියවමින් අති උත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා, ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ජේසු තුමන් සහ දෙව් මවුන් ඉදිරියේ මධ්‍යස්ථ වීම සඳහා අවශ්‍ය සටහන් යොදන අයුරු නුවරඑළියේදී මෙසේ අපගේ කැමරාවේ සටහන් විය