මිනිසුන් අතර ජීවමානව ම වැඩ සිටි ජේසුස් වහන්සේව, දේව පුත්‍රයා ලෙස පිළිගැනීමට එදා ජනතාව අපොහසත් වූ බවත්, උන්වහන්සේ මිය ගියාට පසුව නොව, උන්වහන්සේව ඝාතනය කලාට පසුව, උන්වහන්සේගේ අප්‍රාණික ප්‍රතිමා දේව පුත්‍රයා ලෙස පිළිගැනීමට ජනතාව පෙළඹී ඇති ආකාරය හමුවේ, එදා ජනතාවට සත්‍ය හඳුනා ගැනීමට තිබූ නොහැකියාව තේරුම් ගත හැකි බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියතුමා, ප්‍රකාශ කරනු ලැබුවේ පසුගිය සෙනසුරාදා (2025 අගෝස්තු 30) කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී යි.

 

එදින සවස දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය සමග හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම සඳහා විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණි සැදැහැවතුන්ගෙන්, දර්ශණ දෙව් මැඳුර සහ සිද්ධස්ථාන භූමිය ද පිරී තිබුණි.

 

මිනිසුන් අතර ජීවත් වූ ජේසුස් ස්වාමින් වහන්සේ පිළිබඳව මිනිසුන් කතා කලේ වෙනස්ම විදිහකට බවත්, “සමහරුන් උන්වහන්සේ සත්පුරුෂයෙකැ යි කී අතර, සමහරු, එසේ නොවේ, ඔහු මහජනයා මුළා කරති” යි පැවසූ බව ශුද්ධවූ ජුවාම් තුමා, ශුද්ධ වූ ලියවිල්ලේ සඳහන් කර ඇති බව පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළු පියතුමා තව දුරටත් සිය දේශණය පවත්වමින් කියා සිටියේ, ජේසුස් ස්වාමින්වහන්සේට පන තියෙන කාලයේ දී, මේ තමා ගැළවුම්කාරයා ලෙස උන්වහන්සේව පිළිගැනීමට වැඩි දෙනෙක් අකමැති වූ නිසා, ජේසුස් වහන්සේ මහජනයා මුළා කරන බොරු කාරයෙක් ලෙස වැඩිදෙනාගේ මතයට ඉඩලැබී උන්වහන්සේව ඝාතනය කරනු ලැබූ බවත් ශුද්ධෝත්තම අපොස්තුළු පියතුමා පැවසූ සේක.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුල දී නිර්මල කන්‍ය මරිය මාතාවෝ මේ වන විට විසිතුන් වාරයක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාට දර්ශණය වී ඇති අතර, 1986 දෙසැම්බර් 20 වෙනි සෙනසුරාදා සිදු වූ 23 වෙනි දර්ශණයේ දී “දේව දීමනා දකින්නට මනුෂ්‍යයා අකමැතිවීම ලොකුම අභාග්‍යයි” යනුවෙන් නිර්මල මරිය මාතාවෝ සැදැහැවතුන් විශාල පිරිසක් මධ්‍යයේ පැවසූ වදන් ද සිහිපත් කරමින්, ජෙරිකෝවේ දී අන්ධ සිඟන්නාට, දෑස් නොපෙනුනත්, මේ ලෝකයට ලැබුණ විශිෂ්ඨ දේව දීමනාව වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව නිවැරදිව දකින්නට හැකි වූ භාග්‍ය නිසාම, තම අන්ධ තත්වයෙන් සම්පූර්ණයෙන් ම මිදී, ජේසුස් ස්වාමින් වහන්සේ පසුපස්සේ යාමට තරම් වාසනා වන්තයෙක් වූ අන්දම ශුද්ධෝත්තම අපොස්තුළු පියතුමා පැහැදිළි කරනු ලැබුවේ ශුද්ධ වූ ලූක් තුමාගේ සුවිශේෂයේ 18 වන පරිච්ඡේදයේ සඳහන්ව ඇති ජෙරිකෝවේ අන්ධ මිනිසාගේ කතාව සිය දේශණයට පසුබිම් කර ගනිමිනුයි.

 

ලබන සෙනසුරාදා (සැප්තැම්බර් 6 වෙනි දා) සිරිත් පරිදි සවස 6 ට ජපමාලය සමග හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, ශුද්ධවූ කුරුසියෙන් ආශිර්වාදය ඔබට ලබාදීම ද උන්වහන්සේ විසින් සිදු කරනු ඇත.