කමරාගොඩ පදිංචිව සිටි ඒ. පීටර් සිල්වා මහතා 2012 අගෝස්තු 9 වෙනි දින අභාවප්‍රාප්ත වූ අතර, භූමදානය අගෝස්තු 12 වෙනි ඉරිදා සිදු කරන ලදී.

 

අභාවප්‍රාප්ත පීටර් සිල්වා මහතාගේ අවමගුල් මෙහෙය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය. අවසාන පිළිවෙත් සඳහා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, දේහය තැන්පත් කර තිබූ පීටර් සිල්වා මහතාගේ නිවසට අගෝස්තු 12 වෙනිදා සවස පැමිණි අතර, එහිදී උන්වහන්සේ සිදුකල අවමගුල් මෙහෙයෙන් පසු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා දේහය මිහිදන් කල සුසාන භූමියට ද පැමිණ, දේහය මිහිදන් කිරීමට මත්තෙන් සුසාන භූමියේදී ද කෙටි මෙහෙයක් පවත්වන ලදී.

 

අභාවප්‍රාප්ත පීටර් සිල්වා මහතා වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා පවත්වනු ලැබූ දේව මෙහෙය සඳහා, කමරාගොඩ ශු. ලෙනාඩ් මුනිඳුන්ගේ දේවස්ථානයේ මීසම් පාලක ගරු ඇන්ටන් පීටර්සන් නි.ම.නි. පියතුමා ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සමග එක්වී සිටියහ.

 

පීටර් සිල්වා මහතා අභාවප්‍රාප්ත වන විට 75 වන වියේ පසුවිය. ඒ මහතා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ව දැන හැඳින ගත්තේ මීට අවුරුදු 25 කට පෙරය. එතැන් සිට ඒ මහතාත් ඒ මහතාගේ බිරිඳත් ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ නොසැලෙන බැතිමතුන් බවට පත්වී තම දරුවන්ට ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ඉගැන්වීම් ඔස්සේ දිවි ගෙවීමට මග කියා දුන්නෝය.

 

අභාවප්‍රාප්ත පීටර් සිල්වා මහතා දියණියන් තිදෙනෙකුගේ ද එක් පුතෙකුගේ ද පියෙකි. කාලයාගේ ඇවෑමෙන් මුණුබුරු මිණිබිරියන් ද ලද ඒ මහතා ඔවුන් ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ආශිර්වාදය සහ ඉගැන්වීම් ඔස්සේ ඔවුන් දිවි මග සකසා ගන්නා අයුරු සතුටින් බලා සිටියහ.

 

ඒ මහතාගේ දරු මුණුබුරන් කීප දෙනෙකුම ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට සේවය කිරීම සඳහා එක්වී සිටින අතර ඒ මහතාගේ එකම පුත් ලක්ෂ්මන් රෝයි සිල්වා මහතා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ පුද්ගලීක සහයකයකු වශයෙන් කටයුතු කරන අතර, ලක්ෂ්මන් රෝයි සිල්වා මහතා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ සමීපතම නිලධාරීන් පිරිසගෙන් එක් අයෙකු වේ.

 

අභාවප්‍රාප්ත පීටර් සිල්වා මහතාට ‘මරිය හඬ’ සග සුව ප්‍රාර්ථනා කරයි.

 

අගෝස්තු 12 වෙනි ඉරුදින සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති, නැසීගිය පීටර් සිල්වා මහතාගේ අවමඟුල් මෙහෙයේ විවිධ අවස්ථා පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි